
යාපනයේ චුන්නාකම් එලායි ප්‍රදේශයේ ඩීසල් ලීටර් 880 ක් රැස්කරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් 4 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා. චුන්නාකම් පොලීසියට ලද තොරතුරක් මත එම පුද්ගලයින් දෙදෙනාගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී මෙම ඩීසල් තොගය වාහනයක පටවා තිබියදී හමු වී ඇත. ගොවිතැන් කටයුතු සදහා ඔවුන් දෙදෙනා එම ඩීසල් තොගය රැස් කළ බව පොලීසියට ප්‍රකාශ කොට ඇතත් එම තොරතුර සනාථ කිරීම පිණිස අවශ්‍ය සාධක නොමැති බව ප්‍රකාශ කරමින් එම පුද්ගලයින් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ඔවුන් සමග ඩීසල් ලීටර් 880 ක් සහ ඩීසල් ගබඩා කිරීමට භාවිතා කළ වාහනයද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීම සදාචාර සම්පන්න හෝ සාධාරණ ක්‍රියාවක් නොවන බව යාපනයේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ රැසක් පෙන්වා දෙනවා. වී අස්වැන්න නෙලමින් සිටින අවස්ථාවේදී මෙම පුද්ගලයින් ඉන්ධන ගබඩා කොට ඇත්තේ අලෙවි කිරීමට හෝ වෙනත් නීති විරෝධී කටයුත්තකට නොව කෘෂිකාර්මික කටයුතු සදහාම බව පවසන එම නියෝජිතයින් ගොවීන්ට මෙවැනි අවස්ථාවලදී සහනයක් හිමි විය යුතු බවද සඳහන් කරනවා.