
සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම සහ අටුවා විග්රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීමේ චෝදනාවට ලක් වූ කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදු කරන ලද විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ සුදස්සන හිමියන් විසින් විවිධ අවස්ථාවලදී පවත්වන ලද ධර්ම දේශනා සහ ප්‍රසිද්ධ ප්‍රකාශ ථේරවාදී සම්ප්රදායේ මූලික ඉගැන්වීම්වලට සෘජුවම හානි පමුණුවන බවයි. විශේෂයෙන්ම සම්ප්‍රදායික ථේරවාදී ඉගැන්වීම්වල එන ප්‍රධාන සංකල්ප කිහිපයක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඉදිරිපත් කළ නව්‍ය අර්ථකථනයන් මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
තවද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව අවධාරණය කර තිබෙන්නේ නිකාය නියෝජනය කරන සාමාජික භික්ෂූන් වහන්සේ නමක වශයෙන් ශ්‍රී ලාංකේය ථේරවාදී මූලධර්මයන්ට සහ නිකායික සංඝ සභාව විසින් සම්මත කර පිළිගන්නා ලද සම්මුතීන්ට පූර්ණ ලෙස ගරු කිරීමට සහ බැඳී සිටීමට සෑම භික්ෂුවක්ම වගකීමෙන් යුක්ත වන බවයි.