
ඇමරිකාව සමඟ පවතින යුද්ධය අවසන් කරන්නේ යුද බිමේ තමන්ට ඉහළ වාසියක් හිමි වූ විට බව ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා. ඉරානයේ රාජයේ පුවත් සේවය වන අයිරානා (IRNA) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අරාග්චි සඳහන් කළේ, අර්බුද කළමනාකරණයේදී වඩාත් තීරණාත්මක තීරණය වන්නේ සටන් නතර කර සාකච්ඡා ආරම්භ කළ යුතු නිවැරදි අවස්ථාව හඳුනා ගැනීම බවයි. "යුද්ධයක් අවසන් විය හැක්කේ සම්පූර්ණ යුද ජයග්‍රහණයක් හරහා හෝ සාකච්ඡා මාර්ගයෙන් පමණි.... සාකච්ඡා සඳහා සුදුසුම අවස්ථාව වන්නේ යුද බිමේ විශ්වාසදායක හා උපායමාර්ගික ජයග්‍රහණයක් අත්කරගත් පසුය." යැයි ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසා තිබෙනවා. තවද ඔහු සඳහන් කළේ, ජනතාවගේ ජීවිත හා සමස්ත රටේ අනාගතය අවදානමට ලක්වන තීරණ ගත නොහැකි බැවින්, සියලු තීරණ නිවැරදි හා සම්පූර්ණ විශ්ලේෂණයකට අනුව ගත යුතු බවයි. අරාග්චි වැඩිදුරටත් පැවසුවේ, යුද්ධය දිගටම පවත්වාගෙන යාමෙන් වැඩි ප්රතිලාභ ලැබේද, නැතහොත් එය මිනිස් ජීවිත හා ජාතික සම්පත් සඳහා තවත් බරපතළ හානි ඇති කරයිද යන්න දේශපාලන නායකයන් නිරන්තරයෙන් ඇගයීමට ලක් කළ යුතු බවයි. අවසාන වශයෙන් ඔහු සඳහන් කළේ.... "අපට යම් යම් අලාභ සිදුවුවද, මෙම යුද්ධයෙන් පසු අප ජාත්‍යන්තර මට්ටමේ තීරණාත්මක බලපෑමක් ඇති රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණි අතර, අපගේ පද්ධතියේ ශක්තියද ලොවට පෙන්වා දීමට අපට හැකි විය."යනුවෙන්.