
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) එම අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස කෙසෙල්, අඹ, ගස්ලබු හා අලිපේර වැනි පලතුරු ඉදවා වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
පලතුරු ඉදවීම සදහා විෂ රසායනික යෙදීම වහා නතර කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් මෙම සාකච්ඡාවේදී විමසා බැලිණ.
ඒ සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් හා එම නීති බලාත්මක කිරීමට ඇති බාධා මොනවාද යන්න පිළිබඳ එහිදී සොයා බලන ලදී.
දීර්ඝ කාලයක් තිස්සේ විෂ රසායනික යොදා ඉදවන පළතුරු, ආහාරයට ගැනීමෙන් මිනිස් සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳ නිසි පර්යේෂණ පවා නොමැති තත්ත්වයක් තුළ වහා එය නියාමනය කරමින් අවශ්‍ය දැඩි නීතිමය තීන්දු තීරණ සඳහා එළැඹීමේ අවශ්‍යතාව වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.
ඒ සඳහා පාරිභෝගික පනතේ සංශෝධන සිදුකළ යුතු නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික කෘෂිකර්මාන්තය තුළ කෘතිම පලතුරු ඉදවීම යම්තාක් දුරකට භාවිත කිරීමට සිදුවන බව පැහැදිලි කළ කෘෂි පර්යේෂණ නිලධාරීන් ජාත්‍යන්තර වශයෙන් වශයෙන්ද එවැනි ක්රමවේදී විද්‍යාත්මක පදනමක් මත භාවිත කෙරෙන බව පෙන්වා දෙන ලදී.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේද මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පලතුරු ඉදිවීම සඳහා පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා දීම, එම විද්‍යාත්මක ක්‍රමවේද නිසි ලෙස භාවිත නොකර, පහසු කෘතිම පලතුරු ඉදවීමේ ක්‍රමවේදයන්ට බොහෝ වෙළෙඳුන් හා පලතුරු නිෂ්පාදකයන් පුරුදු වී සිටිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ආහාර පාලන පනත විධි විධාන අනුව කිසිදු රසායනිකයක් හෝ වෙනත් ද්‍රාවණයක් පළතුරක් සමඟ ස්පර්ශ කිරීමට ඉඩ හැරිය නොහැකි බවත් මෙහිදී අදාළ නිලධාරීන් පෙන්වා දෙන ලදී.
පලතුරු ඉදවීමට විෂ රසායනික භාවිත කර ඇත්ද යන්න පිළිබඳ තහවුරු කෙරෙන පරීක්ෂණ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය සතුව රසායනාගාර පහසුකම් පැවතියද එහි අධික කාර්යබහුලත්වයක් පවතින බැවින් ඉදිරියේදී රසායනික යොදා පලතුරු ඉදිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැටලීම් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඒ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අද පැවති මෙම මූලික සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කළ කැඳවීමකට අනුව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සහ එම අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය, ආහාර පර්යේෂණ ඒකකය, පසු අස්වනු තාක්ෂණ ආයතනය, හොරණ පලතුරු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් එක්විය.