
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2026 වර්ෂයේ දී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54 කින් සමන්විත Standard මාදිලියේ නව බස් රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත.
එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම - 2025-2026 හඳුන්වා දී තිබේ.
එම සැලැස්ම යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බස් රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස් රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළියෙල කරනු ලැබ ඇත.
එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස් රථ සේවයේ යෙදවිය යුතු වේ.
ඒ අනුව, දැනටමත් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති Standard මාදිලියේ නව බස් රථ 600 වෙනුවට Deluxe මාදිලියේ (වායු සමනය කරන ලද) වඩා සුව පහසු බස්රථ මිල දී ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීම සඳහා වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.