
අතිශය ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන ජීතු ජෝසෆ්ගේ 'Drishyam' හි 'Drishyam 3' චිත්‍රපටය ද සාර්ථක වීමෙන් පසු 'Drishyam 4' නිර්මාණය කිරීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
'Drishyam 3' චිත්‍රපටය නිකුත් කෙරුණේ මෙම වසරේ (2026) මැයි මාසයේදීයි.
මෙහි පළමු චිත්‍රපටය 2013 වසරේදීත්, දෙවන චිත්‍රපටය 2021 වසරේදී ද නිකුත් විය.
'Drishyam 3' අවසන් වූයේ තවත් දිගුවකට අවස්ථාව සලසා දෙමිනි.
ඒ අනුව යමින් මෙහි 4 වන කොටසක් පිළිබඳව ද නිෂ්පාදක ඇන්ටනි පෙරුම්බාවූර් (Antony Perumbavoor) විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, චිත්‍රපටය 2027 හෝ 2028 වසරේ නිකුත් වනු ඇති.
'crime thriller' ශානරයේ චිත්‍රපට මාලාවක් වන 'Drishyam' හි ජෝර්ජ්කුට්ටි, රාණි ජෝර්ජ්, අංජු ජෝර්ජ් සහ අනු ජෝර්ජ් ලෙස පිළිවෙලින් මෝහන්ලාල්, මීනා, අන්සිබා හසන් සහ එස්තර් අනිල් රංගනයෙන් දායක වෙයි. ජෝර්ජ්කුට්ටි සහ ඔහුගේ පවුලේ අය මුහුණ දෙන අරගලය මෙම චිත්‍රපට මාලාවෙන් නිරූපිතය.
'Drishyam 3' චිත්‍රපටය box office වාර්තා තැබූ පමණින්ම තවත් චිත්‍රපටයකට ඉක්මන් වීමට තමාට අවශ්‍ය නැති බව එහි අධ්යක්ෂ, තිර රචක ජීතු ජෝසෆ් අවධාරණය කර තිබුණි.
එමෙන්ම තවත් කොටසක් නිර්මාණය කිරීමට කාලය අවශ්‍ය වන බවත්, විශේෂයෙන්ම ජෝර්ජ්කුට්ටි සහ අනෙකුත් චරිත ඊළඟට ගෙන යා හැක්කේ කුමන දිශාවකට ද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු පවසා තිබුණි.
කෙසේ නමුත් ඇන්ටනි පෙරුම්බාවූර් දැන් සිව්වන කොටස තහවුරු කර ඇති බැවින්, ජීතු ජෝසෆ් විසින් ජෝර්ජ්කුට්ටිගේ කතාව ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයින් වඩාත් කුතුහලයෙන් බලා සිටියි.
මෙම චිත්‍රපට මාලාව විශේෂ වන්නේ මෙය දෙමළ, තෙලිඟු, හින්දි සහ කන්නඩ මෙන්ම සිංහල, චීන සහ ඉන්දුනීසියානු යන භාෂාවලින් ද නැවත නිෂ්පාදනය (remake) වීමයි.
ඒ අනුව ඔබ දැනටමත් දන්නා පරිදි, 'ධර්මයුද්ධය' මෙහි සිංහල චිත්‍රපටය ලෙසින් ප්‍රතිනිර්මාණය කෙරුණි. එහි 'ධර්මයුද්ධය 2' චිත්‍රපටය ද පළමු චිත්‍රපටය සේ ම අති සාර්ථක අන්දමින් තිරගත වූ අතර එහි මීළඟ දිගුව ලෙසින් 'ධර්මයුද්ධය 3' ද නිර්මාණය වන බව නිවේදනය කෙරුණි.
ඒ අනුව, 'ධර්මයුද්ධය 3' මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණ.