
ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් (Isaac Herzog) මධ්‍යම මැතිවරණ කමිටුවෙන් නිල ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු, නව සන්ධාන රජයක් පිහිටුවීම සඳහා කාට ආරාධනා කළ යුතුද යන්න පිළිබඳව දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මැතිවරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කර තිබූ පසුබිමකදීය.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කණ්ඩායම හෝ ඔහුගේ ප්‍රතිවාදී ගාඩ් අයිසෙන්කොට් (Gadi Eisenkot) යන කිසිදු පාර්ශ්වයකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි වී නොමැත.
ඔක්තෝබර් 27 වන දින පැවති මැතිවරණයේදී, නෙතන්යාහුගේ දක්ෂිණාංශික 'ලිකුඩ්' (Likud) පක්ෂය සහ එහි අන්ත දක්ෂිණාංශික යුදෙව් සගයන් ආසන 120 කින් යුත් 'නෙසෙට්' (Knesset) මණ්ඩලයේ ආසන 53 කින් ජයග්‍රහණය කළහ. අයිසෙන්කොට්ගේ මධ්‍යස්ථ යෂාර් (Yashar) පක්ෂය සහ ඔහුගේ කඳවුරේ අනෙකුත් යුදෙව් විරුද්ධ පක්ෂ තුනක් ආසන 48 ක් දිනා ගත්හ.
අරාබි-ප්රමුඛ සන්ධාන දෙකක් වන එක්සත් අරාබි ලැයිස්තුව සහ ඒකාබද්ධ ලැයිස්තුව, අරාබි ඡන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ යාමත් සමඟ පෙර නොවූ විරූ ලෙස ආසන 19 ක් දිනා ගත්හ.
මෙය ඔවුන් තීරණාත්මක බලයක් හිමි පාර්ශ්වයක් බවට පත් කරන්නකි. කෙසේ වෙතත්, එක් යුදෙව් පක්ෂයක් හැර අනෙක් සියලුම පක්ෂ මැතිවරණයට පෙර ප්‍රතිඥා දී තිබුණේ රජයක් පිහිටුවීම සඳහා ඔවුන් සමඟ කටයුතු නොකරන බවයි.
ඊශ්‍රායල ජනාධිපතිවරයාගේ භූමිකාව බොහෝ දුරට චාරිත්‍රානුකූල එකක් වුවද, මැතිවරණයකින් පසු රජයක් පිහිටුවීමට නෙසෙට් සාමාජිකයෙකුට ආරාධනා කිරීමේ බලය ඔහුට ඇත. එම පුද්ගලයාට දින 28 ක කාලයක් ලබා දෙන අතර, අවශ්‍ය නම් තවත් දින 14 ක දීර්ඝ කිරීමක් ලබා ගත හැකිය.
ජනාධිපතිවරයාට සන්ධානයක් ගොඩනැගීමට හොඳම අවස්ථාවක් ඇතැයි විශ්වාස කරන අයෙකු තෝරා ගැනීමට පුළුල් අභිමතය පරිදි බලය ඇත. වැඩිම ආසන සංඛ්‍යාවක් දිනූ පක්ෂයේ නායකයා ම තෝරා ගැනීමට ඔහු බැඳී නැත.
ඒ අනුව, ඊයේ උදෑසන ජෙරුසලමේ පැවති උත්සවයකදී මධ්‍යම මැතිවරණ කමිටුවේ සභාපති විනිසුරු නොආම් සෝල්බර්ග් (Noam Sohlberg) විසින් නිල ප්‍රතිඵල ජනාධිපති හර්සොග් වෙත භාර දෙන ලදී.