1970 වසරේ ඇපලෝ 13 මෙහෙයුමේදී ආරක්ෂිතව පෘථිවියට ළඟා වීමට මඟ පෙන්වූ, සුප්‍රකට ගගනගාමී Jim Lovell අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97ක්.
NASA වෙතින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, ජිම් ඉලිනොයිස්හි ලේක් ෆොරස්ට් හි පිහිටි සිය නිවසේදී මිය ගොස් ඇති බවයි.
ජිම් ලවෙල් පළමුව වඩාත් කතාබහට ලක්වූයේ, පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය පසුකර සඳ වටා මිනිසුන් රැගෙන ගිය පළමු ගමන වූ 1968 වසරේ ඇපලෝ 8 (Apollo 8) අභ්‍යවකාශ ගමනට සහභාගී වූ ගගනගාමියෙක් ලෙසයි.
මෙම මෙහෙයුමේදී ලවෙල්, ෆ්රෑන්ක් බෝමන් II සහ විලියම් ඇන්ඩර්ස් සමඟ අණදෙන මොඩියුලයේ නියමුවා ලෙස කටයුතු කරන ලදී.
අනතුරුව ඔහු පිළිබඳව කතාබහට ලක්වූයේ 1970 වසරේදී සිදුකළ ඇපලෝ 13 මෙහෙයුමේදීයි.
මෙම ගමන ද සඳ මත ගොඩබැසීම සඳහා සැලසුම් කර තිබුණත්, අභ්‍යවකාශයේදී එහි ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් මෙහෙයුම අසාර්ථක විය.
එහිදී අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලවෙල්, ඔහුගේ සගයන් දෙදෙනා වන ජෝන් ස්විගර්ට් ජූනියර් සහ ෆ්‍රෙඩ් හයිස් ජූනියර් සමඟින්, චන්ද්‍ර මොඩියුලය යොදා ගනිමින් සිය ජීවිතය පරදුවට තබා පෘථිවියට ආපසු පැමිණීමට සමත්වීම සුවිශේෂී ය.
පැවති දැඩි පීඩනය යටතේ වුව සන්සුන්ව කටයුතු කිරීම හේතුවෙන් ඔහු පිළිබඳව වඩාත් කතාබහට ලක්වන්නේ එතැන් සිටයි.
ජිම් ලවෙල් සිය අත්දැකීම් ඇසුරින් "ලොස්ට් මූන්" (Lost Moon) නමින් පොතක් ද රචනා කර ඇති අතර, 1995 දී ටොම් හෑන්ක්ස් (Tom Hanks) රංගනයෙන් දායක වූ "ඇපලෝ 13" චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ඒ ඇසුරිනි.