ස්පාඤ්ඤයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හමුවේ, එරට ප්‍රාන්ත 20ක ප්‍රධාන ලැව්ගිනි පාලනය කිරීම සඳහා හමුදා හදිසි ඒකකයේ සොල්දාදුවන් 500ක් අතිරේකව යොදවා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඒ අනුව ලැව්ගිනි පාලනයට යොදවා ඇති මුළු සොල්දාදුවන් සංඛ්‍යාව 1,900 දක්වා ඉහළ යනු ඇති.
පවතින තත්ත්වය හමුවේ අගමැති පෙඩ්රෝ සැන්චෙස් (Pedro Sanchez) නිවේදනය කර ඇත්තේ, ඉදිරියේදී තවත් අභියෝගාත්මක දින කිහිපයක් පවතිනු ඇති බවත් තත්ත්වය තවදුරටත් අවදානම් සහගත වනු ඇති බවයි.
වයඹදිග ස්පාඤ්ඤයේ ගලීසියා කලාපයේ පමණක් ප්‍රධාන ලැව්ගිනි 12ක් පවතින බව වාර්තා වී ඇති අතර, එහි නිවාස සහ ප්‍රවාහන සේවාවන්ට ද දැඩි බලපෑම් එල්ලව ඇති බවත් සඳහන්.
මේ අතර ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම උදෙසා යුරෝපා සංගමයේ සහාය ද ලබාදෙමින් ප්‍රංශය සහ ඉතාලියෙන් ගුවන් යානා යොදවා ඇති බව සඳහන්. එමෙන්ම නෙදර්ලන්තයෙන් ද ගුවන් යානා දෙකක් පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ස්පාඤ්ඤයේ මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති අතර, වර්ග කිලෝමීටර 1,150කට වඩා වැඩි ප්‍රදේශයක් ගිනිබත් වී ඇති බවත් සඳහන්.
එරට කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළකර ඇත්තේ, අද දින ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් දක්වා ඉහළ යා හැකි බවයි.
අනෙකුත් යුරෝපීය රටවල තත්ත්වය :
පෘතුගාලයේ ද දැඩි ලැව්ගිනි තත්ත්වයක් පවතින අතර, මේ වන විට වර්ග කිලෝමීටර 1,550ක් පමණ ගිනිබත් වී ඇති බවත් ලැව්ගිනිවලින් එක් අයෙකු මියගොස් ඇති බවත් සඳහන්.
එමෙන්ම තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙක් මිය ගොස් ඇති අතර, ගම්මාන කිහිපයකින් ජනයා ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව ග්‍රීසිය, බල්ගේරියාව, මොන්ටෙනෙග්‍රෝ සහ ඇල්බේනියාව වැනි රටවල් ද යුරෝපා සංගමයෙන් ලැව්ගිනි පාලනයට සහාය ඉල්ලා තිබෙනවා.
විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය නිතර ඇති වන අතර, එමගින් ලැව්ගිනි වැනි ස්වභාවික ආපදා වැඩි වී ඇති බවයි.