ප්‍රංශයේ පිහිටි ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයේ (Louvre museum in Paris) සොරකමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩාටි (Rachida Dati) මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, කොල්ලකරුවන් විසින් මිල කළ නොහැකි ආභරණ නවයක් සොරකම් කර ඇති බවයි.
අද (ඔක්තෝබර් 19) උදෑසන කෞතුකාගාරය විවෘත කිරීමේදී සොරකමක් සිදුව ඇති බවට අනාවරණයව ඇති අතර, සුවිශේෂී හේතූන් මත වහාම කෞතුකාගාරය වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.
ප්‍රංශ මාධ්‍ය වාර්තාවන්ට අනුව වෙස්මුහුණු පැළඳ සිටි පුද්ගලයින් තිදෙනෙකු කෞතුකාගාරයට කඩා වැදී භාණ්ඩ සඳහා වන සෝපානයක් භාවිතා කර 'ඇපලෝ ගැලරියට' (Apollo Gallery) ඇතුළුව තිබේ.
අනතුරුව ඔවුන් ආභරණ නවයක් සොරාගෙන ස්කූටරයකින් පලා ගොස් ඇති බව සඳහන්.
එම ආභරණ නැපෝලියන් (Napoleon) අධිරාජයාට සහ අධිරාජිනියට අයත් ආභරණ වන බවයි වාර්තා වන්නේ.
ලුවර් හි ඇති ප්‍රසිද්ධ ආභරණ අතරට තරුණ පාරාවෝගේ සොහොනෙන් සොයාගත් ආභරණ ඇතුළත් “ටුටන්කාමුන්ගේ නිධන්” ප්‍රදර්ශනය ඇතුළත් වේ.
කෞතුකාගාරයේ ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලීසා, ජැක්-ලුවී ඩේවිඩ් විසින් රචිත නැපෝලියන්ගේ කිරීටය සහ පුරාණ ග්‍රීක මූර්ති වීනස් ඩි මිලෝ වැනි ප්‍රසිද්ධ කලා කෘති ද අඩංගු වේ.
එය පැරිසියේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර ලොව වැඩිපුරම නරඹන්නන් ගැවසෙන කෞතුකාගාරය ද වේ.
ඒ අනුව, කෞතුකාගාරයට වාර්ෂිකව මිලියන නවයක් පමණ නරඹන්නන් පැමිණෙන බව සඳහන්.