
චීනය සහ කැනඩාව අතර දෙවන උපායමාර්ගික ආර්ථික හා මූල්‍ය සංවාදය කැනඩාවේ වැන්කුවර් නුවරදී ඊයේ (09) පැවැත්විණ.
ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ චීන උප අග්‍රාමාත්‍ය හ ලීෆෙං මහතා, කැනඩාවේ මුදල් අමාත්‍ය ෆිලිප් ෂැම්පේන් සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනින්දර් සිධූ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙනි.
දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මග පෙන්වීම යටතේ චීන - කැනඩා සබඳතා යහපත් අතට හැරී ඇති බව එහිදී ප්‍රකාශ කළ චීන උප අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දෙරට අතර ද්විපාර්ශ්වික හුවමාරු යළි නිසි මාවතකට පිවිස ඇති බවයි. එමෙන්ම දෙරටේ නායකයන් අතර ඇතිකරගත් වැදගත් එකඟතා ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික පියවරක් ලෙස මෙම සංවාදය හැඳින්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ දෙපාර්ශ්වයටම ප්රතිලාභ හිමිවන සහයෝගීතාව මත පදනම්ව කැනඩාව සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව ද එහිදී අවධාරණය කෙරිණ. විශේෂයෙන් ආර්ථික, වෙළඳ, මූල්‍ය සහ ආයෝජන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමත්, මතභේද පසෙකලා පොදු එකඟතා මත කටයුතු කිරීමත් චීනයේ අපේක්ෂාව බව හ ලීෆෙං මහතා සඳහන් කළේය.
මේ අතර, චීනය සමග පවතින සබඳතා සඳහා කැනඩාව ඉහළ ප්රමුඛත්වයක් ලබාදෙන බව කැනඩා මුදල් අමාත්‍ය ෆිලිප් ෂැම්පේන් මහතා මෙහිදී පැවසීය. දෙරටේ නායකයන් අතර ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්තිමය සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම ආර්ථික හා මූල්‍ය ක්ෂේත්රයන්හි අන්‍යෝන්‍ය ප්රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම කැනඩාවේ අපේක්ෂාව බව ඔහු සඳහන් කළේය.
කැනඩා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මනින්දර් සිධූ මහතා ද මෙහිදී අදහස් දක්වමින් අවධාරණය කළේ, චීනය සමග වෙළඳ හා ආර්ථික ක්ෂේත්රයන්හි ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැනඩාව අපේක්ෂා කරන බවයි.
මේ අතර, දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන පුළුල් කිරීම සඳහා පවතින නව අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කර්මාන්ත හා ව්‍යාපාරික ක්ෂේත්රයන්හි ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති තවත් සාකච්ඡාවක් සඳහා ද මෙම සංවාදයට පෙර දින චීන උප අග්‍රාමාත්‍යවරයා සහ කැනඩාවේ මෙම අමාත්‍යවරු එක්වූහ.