
සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට වාර්තා වන, සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට රජය හැකිතාක් උත්සහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය සියල්ල, මේ මොහොතේදීත් විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් විදේශ අමාත්‍යංශය කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
''තොරතුර විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සෙ, පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇත්තටම විදේශ අමාත්‍යංශය, විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වට ගණනාවක් සිදුකළා. ඒ වගේම ඔහුට නීතිඥ සහය ලබාදීම සඳහාත් තානාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් ඒ වෙනුවෙන් යොදවලත් තිබුණා. නමුත් අපිට කටයුතු කරන්න වෙන්නෙ ඒ රටේ පවතින නීතියත් එක්ක.
ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා, ඔහුට සමාවක් ලබාගැනීමට. දඬුවම පුළුවන් තරම් අඩුකර ගැනීමට. ඒක තමයි රජයේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් රාජ තාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතෙදිත් විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් විදේශ අමාත්‍යංශය කරමින් ඉන්නවා.''