
දශක කිහිපයකට පසු බංග්ලාදේශය මුහුණ දෙන දරුණුතම සරම්ප වසංගතය හමුවේ එරට ළමුන් 1,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ ද රෝගීන් වාර්තා වීම නැවතත් ඉහළ යමින් පවතින බවයි.
එරට ළමුන් මිලියන 19.8 කට වැඩි පිරිසකට මේ වන විටත් එන්නත් ලබා දී ඇති නමුත්, දිනකට සරම්ප යැයි සැක කෙරෙන අලුත් රෝගීන් 1,000ක් පමණ තවමත් වාර්තා වන බව සඳහන්.
ඒ අනුව තවමත් එන්නත ලබා නොගත් දරුවන් වෙත ළඟාවීම සඳහා රජය සැප්තැම්බර් 26 වන දින සිට සිය එන්නත්කරණ ප්රචාරණයේ "වඩාත් දැඩි අදියරකට" එළඹෙන බව යුනිසෙෆ් (Unicef) ආයතනය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මෙවර මාර්තු මාසය දක්වාම බංග්ලාදේශය සරම්ප රෝගය තුරන් කිරීම සඳහා "සැලකිය යුතු ප්‍රගතියක්" ලබා තිබුණි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ වසරේ මේ දක්වා ලොව වෙනත් ඕනෑම රටකට වඩා වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයෙන් බවයි.
ශ්වසනය, කැස්ස හෝ කිවිසුම් යාම මගින් පහසුවෙන් පැතිරෙන මෙම බෝවන රෝගය හේතුවෙන්, මාර්තු මාසයේ සිට මේ දක්වා රෝගීන් 194,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව රජයේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.