
ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුමකට එළැඹ ඇති බවත්, එමගින් ග්‍රීන්ලන්තයේ “ආරක්ෂාව සහ අනෙකුත් සියලුම අවශ්‍යතාවල ස්ථිර පාලනය” ඇමරිකාවට හිමිවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය, 'Truth Social' ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කරන්නේ සිය උපදෙස් පරිදි, ග්‍රීන්ලන්තය තුළ අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඇමරිකාවට සදාකාලිකවම සම්පූර්ණ හැකියාව ලැබෙන බව තහවුරු කිරීමට ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ නියෝජිතයින් සමඟ කටයුතු කළ බවයි.
ඇමරිකාවේ ලිඛිත අවසරයකින් තොරව ග්‍රීන්ලන්තය තුළ හමුදා කඳවුරු පිහිටුවීම හෝ හමුදා නිලධාරීන් රඳවා තැබීම ඇමරිකාවේ ප්‍රතිවාදීන්ට තහනම් වන බව ද එහි වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව ග්‍රීන්ලන්තය පුරා සුදුසු ප්‍රදේශවල සැලකිය යුතු ඇමරිකානු හමුදා බලයක් ගොඩනැගීමේ සැලසුම් වහාම ආරම්භ වන බවත් ට්‍රම්ප් පවසයි.
ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඇමරිකාව සමඟ මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව පවසමින් ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී.
මෙම ගිවිසුම 'නූක්' (Nuuk) සහ 'කෝපන්හේගන්' (Copenhagen) හි පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඩෙන්මාර්ක අගමැතිනි මෙටේ ෆෙඩ්රික්සන් (Mette Frederiksen) සඳහන් කරන්නේ, මෙම ගිවිසුම මගින් "ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව මෙන්ම ග්‍රීන්ලන්ත ජනතාවගේ ස්වයංනිර්ණ අයිතිය ද පිළිගන්නා" බවයි.
ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස්-ෆෙඩ්රික් නීල්සන් (Jens-Frederik Nielsen) සඳහන් කරන්නේ, ඇමරිකාව සමඟ ඇති කරගත් මෙම ගිවිසුම මගින් තම කලාපයේ ආරක්ෂාව "තවදුරටත් තහවුරු වන" බවයි.