
තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්තයේ මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අට හැවිරිදි යූනා ජෝ සහ හය හැවිරිදි මිනු ජෝ නම් දරුවන් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී වැරදිකරු වූ මව වන 45 හැවිරිදි හකියුං ලී හට නිදහස් වීමට සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර 17ක් සිරගතව සිටිය යුතුය.
ඇය තර්ක කරන්නේ, ඇගේ සැමියා පිළිකාවකට ගොදුරුව මියගිය වහාම 2018 දී සිදුවූ එම ඝාතන තමන් උමතුව පසුවීම හේතුවෙන් සිදුවූ ඒවා වන බවයි.
දරුවන්ගේ දේහයන් සොයාගෙන තිබුණේ, 2022 දී ඕක්ලන්ඩ් හි අතහැර දැමූ ගබඩා ඒකකයකදීයි.
පසුව ඊට සැකකාරිය වූ හකියුං ලී අත්අඩංගුවට ගැනුණු අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා සිටියේ සැමියාගේ මරණයෙන් පසු ඇගේ මානසික සෞඛ්‍යය පිරිහී ගිය බවත්, පවුලේ අනෙක් අය සමඟ එකට මිය යාම වඩාත් සුදුසු යැයි ඇය විශ්වාස කළ බවත්ය.
ඒ අනුව ඇය බීම වීදුරුවකට විෂ මිශ්‍ර කර දරුවන්ට ලබාදී තමා ද පානය කර ඇති නමුත් ඉන් දරුවන් පමණක් මියගොස් තිබිණ.
කෙසේ නමුත් නඩු පවරන්නන් තර්ක කර තිබුණේ, ඇයගේ ක්‍රියාව හුදෙක් දෙමාපිය බරින් නිදහස් වීමට කළ ආත්මාර්ථකාමී ක්‍රියාවක් වන බවයි.
ඝාතනවලින් පසු, ලී ඇගේ නම වෙනස් කර නවසීලන්තයෙන් පිටව ගොස් ඇත.
පසුව ඇය 2022 සැප්තැම්බර් මාසයේදී දකුණු කොරියාවේදී අත්අඩංගුවට ගත් අතර, එම වසර අගභාගයේදී ම නැවත නවසීලන්තයට පිටුවහල් කරන ලදී.
හකියුං ලී හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරුවන් නියෝග කර ඇත්තේ, ඇයගේ මානසික තත්ත්වය සැලකිල්ලට ගෙන ඇයව සිරගතව සිටියදී "විශේෂ රෝගියෙකු" ලෙස සලකන ලෙසයි.
නියෝගය දෙමින් විනිසුරුවරයා,
"ඔබේ සැමියා බරපතල ලෙස අසනීප වූ විට ඔබට ඊට මුහුණ දිය නොහැකි වන්නට ඇත. සමහර විට ඔබෙන් කුරිරු ලෙස උදුරා ගත් ඔබේ පෙර ප්‍රීතිමත් ජීවිතය පිළිබඳ නිරන්තර මතක් කිරීමක් ලෙස, දරුවන් ඔබ වටා සිටීම ඔබට දරාගත නොහැකි වූවා විය හැකිය..." යනුවෙන් සඳහන් කර තිබිණ.