
ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේ Next Dream වැඩසටහන යටතේ ආබාධ සහිත පුද්ගලයන් හා සේවා යෝජක ආයතන ලියාපදිංචි කිරීම , සේවා යෝජක ලියාපදිංචි සඳහා වූ අයදුම්පත අන්තර්ජාලයට යොමු කිරීම හා Next Dream වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම පසුගියදා (22) අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයෙදී පැවැත්විණි.
ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ. ඒ අනූව ආබාධ සහිත පුද්ගලයෙකු රැකියාව සඳහා බඳවාගන්නා සේවා යෝජක ආයතනයට මාසයකට රුපියල් 15000ක උපරිමයකට යටත්ව ඔහුගේ වැටුපෙන් අඩක් මාස 24ක් ගෙවනු ඇත.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිස රැකියා අයදුම්පත සහ සේවා යෝජක ලියාපදිංචි අයදුම්පත සම්පූර්ණ කළ හැකිය.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්තයන්ට අනූව බරපතල ආබාධ සහිත පුද්ගලයන් 721 000 ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවත් ඉන් අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයන් 171 000 කට පමණ මාසිකව රුපියල් 10000ක ආධාර මුදලක් ලබාදෙන බවත් අමාත්‍ය උපාලි පන්නිල මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන, පොලිස් ස්ථාන, රෝහල් ආදී ආයතන සඳහා ප්‍රවේශ පහසුකම් දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ