
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් 2026-06-05 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.
සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ මුලිකත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස, හේමාලි වීරසේකර මහත්මිය, කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය, නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය කටයුතු කරනු ඇත.