
මෙනින්ජිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය පවසයි.
මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය මෙම උපදෙස් මාලාව තුළ පෙන්වා දෙයි.
එමෙන් ම උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව ද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.
පවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මළ-මුඛ මාර්ගයෙන්) මෙන්ම, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිදිති (Droplets) මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා රෝගය බෝ විය හැකි බවත්, වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන බව ද එම වාර්තාවේ සඳහන් ය.
රෝග පාලනය සහ වැළැක්වීමේ පියවර ලෙස සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටීෂු එකකින් මුඛය සහ නාසය වැසීම, රෝග ලක්ෂණ ඇති අය සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම, නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම යන කරුණු වසංගත රෝග විද්‍යාඅංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශණ මාලාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන ලද උපදෙස් හා මඟපෙන්වීම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇත.
මෙම උපදෙස් මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන්, පළාත් සහ දිස්ත්‍රික් උපදේශක ප්‍රජා වෛද්‍යවරුන්, වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ද දැනුවත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විසින් නිකුත් කර ඇත.