
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට නීති ක්ෂේත්රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ, මෙරට උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (29) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුවයි.
එහිදී රජයේ මෙම අදූරදර්ශී යෝජනාවට එරෙහිව සමස්ත නීතිඥ ප්‍රජාවගේ ඒකමතික විරෝධය පළ වූ බවයි එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.
මෙම විශේෂ රැස්වීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ද නීතිඥවරුන් පිරිසක් එක්ව සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය,
“අද දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මුළු සාමාජිකයන්ගේ රැස්වීමක් පැවැත්තුවා. ප්රජාතන්ත්රවාදී ලෙස අපේ සංගමයේ ඉදිරි කටයුතු අපි කොහොමද ගෙනියන්නේ කියලා තීරණය කරන්න අද දින අපේ සංගමයේ, මුළු සංගමයේ සාමාජිකයන්ට අවස්ථාව තිබුණා සම්බන්ධ වෙන්න.
මේ පරිශ්‍රයේත් මාර්ගගත ක්‍රමයෙනුත් නීතිඥවරු මං හිතන්නේ තුන් හාරදහසක්, ඊටත් වඩා අපිත් එක්ක අද එකතු වුණා, මේ සම්බන්ධයෙන් කතා කරන්න.
රජයේ මේ හදිසි යෝජනාව, විනිසුරුතුමන්ලාගේ, තුමියන්ගේ ඒ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ හදිසි අර යෝජනාව ගැන කතා කරන්න.
මුළු නීති ක්ෂේත්රයම, අපේ නීති ක්ෂේත්රය කියන්නේ අපේ නීතිඥවරු, අපේ විනිසුරුතුමන්ලත් අපේ සාමාජිකයෝ.
මොකද ඒගොල්ලෝ, එතුමන්ලත් මුලින්ම නීතිඥවරු හැටියට පටන් ගත්තේ. ඇත්තටම විනිසුරුතුමන්ලාටත් හඬක් නෑ උසාවියෙන් පිටත. ඒ හඬත් හැමවෙලාවේම සාම්ප්‍රදායික ලෙස නියෝජනය කරන්නේ අපේ නීතිඥ සංගමය.
මේ වෙලාවේ අපේ තීරණයට අනුව සියලුම දෙනා එකක් නෑර, මේ ආණ්ඩුවේ දූරදර්ශී නොවන මේ තීරණයට විරුද්ධයි.
මම සභාපති හැටියට, අපේ සභාවෙන්, අපේ මාර්ගගතව සම්බන්ධ වුණ නීතිඥවරුන්ගෙන් ඇහුවා කවුද මේකට විරුද්ධ, සියලු දෙනාම අත් ඉස්සුවා.
ප්රජාතන්ත්රවාදී ආයතනයක් හැටියට අපි සියලු දෙනාගේම හඬ අහන්න ඕනේ. ඉතින් මම ඇහුවා ඊළඟට කවුද මේකට විරුද්ධ කියලා. එක්කෙනෙක්වත් නෑ මේ පරිශ්‍රයේ අද මේ අලුත් මේ යෝජනාවට එකඟ. මේක ඇත්තටම බුද්ධිමත් නොවන තීරණයක් ආණ්ඩුව අරන් තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා. මේක අධිකරණයේ ස්වාධීනත්වයට තියෙන දැඩි පහරක්. අපි මේ ගැන දැනටමත් කතා කරලා තියෙනවා. අපි දිගටම කතා කරනවා.
අපි මේ තිබුණටත් වඩා ශක්තියෙන්, ජවයෙන් කතා කරනවා මොකද, මේ වෙනකම් අපිට සමස්ත නීතිඥ ප්‍රජාවගේ සම්පූර්ණ අනුමැතිය තිබුණේ නෑ බාර් කවුන්සිලය හරහා, පාර්ලිමේන්තුව වගේ අපේ අනුමැතිය තිබුණේ.
නමුත් සමස්ත නීතිඥ ප්‍රජාව මේ අවස්ථාවේ අපිට කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි, සදාචාර විරෝධී, මේක ඇත්තටම අපරාධයක්, මේක දූෂණයක්. ඉතින් මේක නවත්වන්න ඕනේ.
අපි ස්වාධීනත්වය කියනකොට, ඒක මම හිතන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසුණොත්, මොකහරි ඒකට ප්‍රහාරයක් ඇති වුණොත්, ඒක ඒක අද හෙට ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, දිගු කාලීන ප්‍රශ්නයක්.
මේ අමුතු දේ නිසා, මං හිතන්නේ අපේ, විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාටත් අපහසුතාවයට පත්වෙන්න වෙනවා.
මොකද සාමාන්‍යයෙන් පනතක්, පනතක ව්යවස්ථාභාවය, ව්‍යවස්ථානුකූලභාවය තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. නමුත් මේ අවස්ථාවේ එතුමන්ලාටත් මේ අපහසුතාවයට පත්කරනවා මේ ආණ්ඩුව. මොකද එතුමන්ලාටත් දැන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙයි. මේ ප්රශ්නය තියෙන්නේ, එතුමන්ලාටත් මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් එතනින් බෙනිෆිට් එකක් ලැබෙනවා.
ඉතින් මං හිතන්නේ අන්තිමටම අපේ මතය නම්, විනිසුරුතුමන්ලත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලත් අමාරුවට, අපහසුතාවයට පත්කරන්නේ නැතුව, මේක ආණ්ඩුවට තාමත් අවශ්‍ය නම්, අපේ කරුණුත් සැලකීම් අහලා ඊට පසුවත් මේක තාමත් අවශ්‍ය නම්, එතකොට අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යන්න වෙනවා.
ඇත්තටම අද වෙනතුරු, අපේ දැන් මාස දෙකක් තිස්සේ මේක එපා කියලා කියනවා. අද වෙනතුරු රජය අපට අවස්ථාවක් දුන්නේ නෑ අපේ අදහස විධිමත්භාවයකින් ඉදිරිපත් කරන්න.
කැබිනට් තීන්දුවකුත් දැන් අරන් තියෙනවා අපේ අදහස අහන්නෙ නැතුව. නමුත් ඉතින් මං දන්නෙ නෑ ඒක වෙච්ච දේ වුණා කියමු. අපට අද අවස්ථාවක් තියෙනවා අද පහට අධිකරණ අමාත්‍යතුමාට අපේ ඒ නියෝජනය කරන්න. අපි ඒක කරනවා. ඒ අපේ යුතුකම අපේ වෘත්තියටත්, නීති පද්ධතියටත්, අපේ ජනතාවටත් වෙනුවෙන් කරන්නේ. අපිව කෙටි කාලයකට හරි අමතක කරත්, අපි අපේ යුතුකම අපි ඉෂ්ට කරනවා. සමහර අයගේ යෝජනාව වුණේ, ඔහොම කරපු විදිහ හරි නෑ, සදාචාර නෑ ආණ්ඩුව පැත්තෙන්, ඉතින් අපි යා යුතුද කියලා. අද අපි කිව්වා නැහැ අපි මෙතන අපේ යුතුකමක් තියෙනවා. අපට අපිව පැත්තකට දාලා යන්න හැදුවත්, අපට අනිසි මඩ ප්‍රහාර අපි එහෙන් මෙහෙන් ආවත්, අපි ඒ වැඩ සැලෙන්නේ නෑ, අපි ඉදිරියටම යනවා.
අද දිනයේ අද හවස පහට ගරු අමාත්‍යතුමා එතුමාත් අපේ සාමාජිකයෙක්. මං එතුමාට ඇත්තටම කිව්වා එතුමා ඇමති වෙන්නේ නැතුව නීතිඥ සංගමයේ සභාපති වුණා නම්, මේ තත්ත්වයට වඩා සමහරවිට කෑගහන්න ඉඩ තිබුණා....''