
මෙක්සිකෝවේ ප්‍රකට සංගීතඥයෙකු වන ජොනතන් මෙලෙන්ඩෙස් (Jonathan Meléndez) ඇතුළු ඔහුගේ ගැබිනි බිරිඳ, තුන් හැවිරිදි දියණිය, නිවසේ සේවය කළ කාන්තාව සහ සුරතල් සුනඛයාට ඔවුන්ගේ නිවසේදිම වෙඩි තබා ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ජොනතන් මෙලෙන්ඩෙස් (38), ප්‍රකට සංගීත කණ්ඩායමක් වන 'Camilo Séptimo' හි කීබෝඩ් වාදන ශිල්පියා වේ.
විදෙස් වාර්තාවන්ට අනුව, මෙලෙස ඝාතනයට ලක්ව ඇති මෙලෙන්ඩෙස්ගේ බිරිඳ වන 'ඇනා පෝලා' (35) සිව්මස් ගැබිණියකි.
මියගොස් ඇති අනෙක් කාන්තාව 'අලෙයිඩා රොමේරෝ වික්ටෝරියෝ' (21) ලෙස හඳුනාගෙන ඇති අතර, ඇය නිවසේ සේවිකාවක (nanny) ලෙස සේවය කර ඇත.
මියගිය පිරිසට අයත් කුඩා දියණිය ද ඇතුළු වින්දිතයින් තිදෙනෙකුගේ හිසට වෙඩි තබා ඇති අතර, අනෙක් තැනැත්තාට පිටුපසින් පැමිණ වෙඩි තබා ඇති බවට හඳුනාගෙන ඇත.
එමෙන්ම නිවසේ සිටි සුරතල් සුනඛයාට ද මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
කෙසේ නමුත්, සිද්ධිය වූ ස්ථානයේ සිටි 6 හැවිරිදි පිරිමි ළමයෙකු කිසිදු හානියක් නොවී ජීවත්ව සිටියදී සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඝාතනයන් අඟහරුවාදා පස්වරුවේ සිදුවන්නට ඇති බවට බලධාරීන් මේ වන විට අනුමාන කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අනුව, මෙම මරණ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනවල ප්‍රධාන සැකකරු ලෙස මෙලෙන්ඩෙස්ගේ ව්‍යාපාරික සගයෙකු වන 'ඩියාගෝ සෙබස්තියන්' නමැත්තා චෝදනා ලබා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම 'හර්නාන්ඩෙස් ගෙරාඩෝ' නමැති තවත් පුද්ගලයෙකු ද මෙම සිද්ධියට චෝදනා ලබා සිටියි.