යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් වන සාකච්ඡා සඳහා ට්‍රම්ප් සහ පුටින් අතර පැවැත්වීමට නියමිත හමුව, ඇලස්කාවේදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙම හමුව අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන බව සඳහන්.
මෙම සාකච්ඡාවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද සම්බන්ධ වීමට නියමිත බවට වාර්තා වන අතර, සටන් විරාම ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණෙමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම යටතේ යුක්රේනයට සිය භූමියෙන් සැලකිය යුතු කොටසක් අත්හැරීමට සිදුවනු ඇතැයි ද වාර්තා වන බවයි.
ට්‍රම්ප්ට අනුව, මෙම ගිවිසුම යටතේ දෙපාර්ශ්වයටම වාසිදායක වන ආකාරයට යම් භූමි ප්‍රදේශ හුවමාරු කර ගැනීමට සිදුවනු ඇති.
මෙම හමුව සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනයේ ප්‍රතිචාරය ලෙස පුටින්ගේ සහායකයෙකු වන යූරි උෂාකොව් (Yuri Ushakov) සඳහන් කර ඇත්තේ, මෙම සාකච්ඡා "අභියෝගාත්මක ක්‍රියාවලියක්" වුවත්, "ශක්තිමත්ව සහ ක්‍රියාශීලීව" එයට සම්බන්ධ වන බවයි.
එමෙන්ම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ යුක්රේන අර්බුදයට දිගුකාලීන සාමකාමී විසඳුමක් සෙවීම බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, යුක්රේන භූමියෙන් පහෙන් එකක් පමණ අහිමි වීම සෙලෙන්ස්කි සහ ඔහුගේ රජයට වේදනාකාරී සහ දේශපාලනික වශයෙන් අභියෝගාත්මක වනු ඇති බවයි.
රාජ්‍ය නායකයින් අතර ඉදිරි සාකච්ඡා සිදුවන්නේ, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් බදාදා මොස්කව්හිදී පුටින් සමඟ පැය තුනක කාලයක් පැවැත්වූ සාකච්ඡාවලින් පසුවයි.
එම සාකච්ඡා දෙපාර්ශ්වයටම සාධානීය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.