
ඉරානයේ දකුණුදිග මිනාබ් නගරයේ පිහිටි "ෂජාරේ ටයියෙබේ" (Shajareh Tayyebeh) බාලිකා ප්රාථමික පාසලට එල්ල වූ ප්රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 165 දෙනෙකු මියයාම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය සිය ''කම්පනය" පළ කර තිබේ.
මියගිය පිරිස අතරින් බහුතරයක් වයස අවුරුදු 7ත් 12ත් අතර කුඩා දියණියන් බව වාර්තා වේ. මීට අමතරව තවත් 96 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
"පාසල් සහ රෝහල් වැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්රහාර පිළිබඳ වාර්තාවලින් අප දැඩි ලෙස කැළඹීමට පත්ව සිටිනවා," යැයි ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සඳහන් කරයි.
යුද්ධයෙන් දරුවන් ආරක්ෂා කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව ඔවුන් අවධාරණය කරයි.
ජිනීවාහි ඉරාන තානාපති මාර්තු 01 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රධානී වෝල්කර් ටර්ක් (Volker Turk) වෙත ලිපියක් යොමු කරමින් මෙම ප්රහාරය "සාධාරණීකරණය කළ නොහැකි සාපරාධී ක්රියාවක්" ලෙස සඳහන් කර තිබේ.
මෙම පාසල ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) කඳවුරකට නුදුරින් පිහිටා තිබීම නිසා මෙම ප්රහාරය එල්ල වන්නට ඇති බවට සැක පළ කෙරේ.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ මෙය සිවිල් වැසියන් ඉලක්ක කර හිතාමතාම එල්ල කළ ප්රහාරයක් බවයි.