
මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැවැන්ත පරාජය පිටුපස ඉරාන යුද්ධය බලපෑ බව පැවසීම "බොහෝ දුරට සත්‍ය" බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේ නමුත් උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සෘජුවම විවේචනය කර ඇත්තේ, පරාජය වීමට හේතුව එම ගැටුම වන බවයි.
උපජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් මඟින් රිපබ්ලිකන් පක්ෂය අභ්‍යන්තරයේ එකිනෙකාට චෝදනා කරගැනීමේ ආරම්භය පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව තෙල් මිල මාස දෙකකට පසු අඩුම අගය වාර්තා කරමින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා පහත වැටී ඇත.
ටෙක්සාස්, කැන්සාස් සහ දකුණු කැරොලිනා වැනි දැඩි රිපබ්ලිකන් බලකොටු සහිත ප්‍රාන්තවල ඩිමොක්රටික් පක්ෂය එක පිට එක ජයග්‍රහණ ලබා ගැනීමෙන් පසුව, ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයින් සිය කෝපය ට්‍රම්ප් වෙත එල්ල කර තිබුණි.
ට්‍රම්ප්ගේ පෞද්ගලික කීර්තිය ගැන පමණක් අවධානය යොමු කිරීම සහ ඡන්දදායකයින්ගේ ගැටලු කෙරෙහි දක්වන ලද නොසැලකිලිමත්කම පක්ෂයට කොංග්රස් මණ්ඩලයේ බලය අහිමි වීමට හේතු වූ බවට ඔවුන් තර්ක කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉරාන යුද්ධය, බදු ප්‍රතිපත්ති සහ පාලනාධිකාරියේ ආගමන නීති දැඩි කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් කෙරෙහි පැවති මහජන අප්‍රසාදය මෙම දැවැන්ත පරාජයට මග පෑදු බවයි.
මැතිවරණ රාත්‍රියේ වැඩි වේලාවක් නිහඬව සිටි ට්‍රම්ප්, මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය ඩිමොක්රටික් පක්ෂයට හිමි වූ පසු Truth Social හි සටහන් කර තිබුණේ, තමන් ඡන්ද පත්‍රිකාවේ සිටියා නම් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා බවයි.
"මම ඡන්ද පත්‍රිකාවේ සිටියේ නැත. මම සිටියා නම් අපි අතිදැවැන්ත, විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා නිසැකය!"
පසුව New York Times සහ Fox News සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවලදී ඔහු මැතිවරණ ප්‍රතිඵල භාරගන්නා බව ප්‍රකාශ කර තිබුණි.
මැතිවරණ ප්‍රතිඵල ගැන තමා "මඳක් පුදුම වූ" නමුත්, සාමාන්‍යයෙන් මැදවාර මැතිවරණවලදී බලයේ සිටින ජනාධිපතිගේ පක්ෂය පරාජයට පත්වීම සාමාන්‍ය දෙයක් බව ඔහු සඳහන් කර තිබුණි.
1934 සිට මේ දක්වා, ධවල මන්දිරයේ බලයේ සිටින පක්ෂය මැදවාර මැතිවරණයකින් ආසන සංඛ්‍යාව වැඩි කරගෙන ඇත්තේ අවස්ථා තුනකදී පමණි.
2026 දී ඩිමොක්රටික් පක්ෂයේ ජයග්‍රහණය වාර්තාවක් නොමැති වුවද, දශක ගණනාවකින් ජයග්‍රහණය කර නොතිබූ ප්‍රාන්තවල පවා නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන, ආණ්ඩුකාර ධුර සහ සෙනෙට් ආසන රැසක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය.
නොවැම්බර් 3 වන දිනට පෙර, ඩිමොක්රටික් පක්ෂය කැන්සාස් හි සෙනෙට් ආසනයක් ජයගෙන තිබුණේ 1932 දී වන අතර, ටෙක්සාස් හි ප්‍රාන්ත මට්ටමේ මැතිවරණයක් ජයගෙන තිබුණේ දශක තුනකටත් වඩා පෙරදීය.
ට්‍රම්ප් සහ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් මැදවාර මැතිවරණය වෙනුවෙන් රැලි රාශියක් පැවැත්වූ අතර, ට්‍රම්ප් හිතවාදී MAGA Inc. මඟින් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් වැය කර තිබුණි.