
ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ.
ජර්මන් චාන්සලර්වරයා සමඟ පැවති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රහාර සඳහා ඊශ්‍රායලයට බලපෑම් කළේ තමන් බවයි.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය තමන්ට බල කළේදැයි විමසූ විට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, "නැහැ, ඇත්තටම මම ඔවුන්ට ඒ සඳහා බල කළා වෙන්න පුළුවන්," යනුවෙනි.
ඕමානය මැදිහත් වී පැවැත්වූ සාකච්ඡා දෙස බැලීමේදී ඉරානය ඇමරිකාවට පහර දීමට සූදානම් වන බව තමන්ට වැටහුණු බව ට්‍රම්ප් පැවසීය.
හිටපු ෂා රජුගේ පුත් රේසා පහ්ලවි ඉරානයේ නායකත්වයට පත්වීම ගැන විමසූ විට ට්‍රම්ප් ඔහුව ප්‍රතික්ෂේප කළේය.
ඔහු පැවසුවේ පිටතින් එන අයෙකුට වඩා ඉරානය තුළම සිටින අයෙකු නායකත්වයට පත්වීම වඩාත් සුදුසු බවයි.
ඇමරිකානු හමුදා මෙහෙයුම් අවසන් වූ වහාම ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇතැයි ට්‍රම්ප් අනාවැකි පළ කළේය.
ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් සහ පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට පෙර සැලසුමක් නොතිබුණේ ඇයිදැයි විමසූ විට, ඔහු පැවසුවේ ඉරානය සමඟ යුද්ධය බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් දිග හැරුණු බවයි.