
යේමනයේ තායිස් (Taiz) පළාතේ අල්-වසිඉයා (Al-Wazi’iyah) ප්රදේශයේ
වෙළෙඳපොළක් ඉලක්ක කර එල්ල වූ ගුවන් ප්රහාර මාලාවකින් පුද්ගලයන්
30කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි හූති සංවිධානයට
අනුබද්ධ අල් මසීරා (Al Masirah) රූපවාහිනී නාලිකාව වාර්තා කරනවා.
එම නාලිකාවේ තායිස් ප්රදේශයේ වාර්තාකරු උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ අද(06) උදෑසන එල්ල වූ මෙම ප්රහාරයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ තවමත් මූලික තක්සේරුවක් පමණක් බවයි.
ප්රහාරයෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිරුරු සොයා මෙහෙයුම් ක්රියාත්මක වෙමින් පවතින අතරතුර ද ගුවන් යානා ප්රදේශයට ඉහළින් පියාසර කරමින් තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්රහාර තුනක් එල්ල වී ඇති බව ද අල් මසීරා නාලිකාව වාර්තා කර තිබෙනවා.
මේ අතර, යේමනයේ අගනුවර වන සානා (Sanaa) හි හම්දාන් ප්රදේශයට ද දැඩි ගුවන් ප්රහාර එල්ල වී ඇති බව එම නාලිකාව සඳහන් කරනවා.
එම ප්රහාර හේතුවෙන් භූගත ජලය ලබාගැනීම සඳහා භාවිත කරන ළිං දෙකකට හානි සිදුව ඇති බව ද වාර්තා වනවා.
එසේම, සාදා (Saada) පළාතේ මජ්ස් (Majz) දිස්ත්රික්කයට ද ප්රහාර එල්ල වී ඇති අතර, සෞදි අරාබි දේශසීමාව ආසන්නයේ පිහිටි ශාදා (Shada) ප්රදේශයට සහ තවත් දිස්ත්රික්ක කිහිපයකට කාලතුවක්කු හා රොකට් ප්රහාර එල්ල වූ බව අල් මසීරා නාලිකාව වැඩිදුරටත් වාර්තා කරනවා.