
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි.
කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවය.
මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් යොදවා පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බවද ඒ මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මේ වන විට වයස අවුරුදු 21ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පාසල් යන සහ නොයන වයස අවුරුදු 21ට අඩු ගැහැනු දරුවන් 161දෙනෙකු ද සිටින බවය.
විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන්, නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්වල දරුවන් මෙන්ම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරු වී සිටීම හෝ විදේශගත වීම වැනි හේතු නිසා ළමුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවය.