
යේමනයේ හූති සටන්කාමීන්ට ආයුධ සැපයීම සහ ඔවුන්ට ලබාදෙන සහාය වහාම නතර කරන ලෙස G7 රටවල විදේශ අමාත්‍යවරු ඉරානයෙන් ඉල්ලා සිටිනවා.
බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශ අමාත්‍යවරුන් එක්ව නිකුත් කළ ප්‍රකාශයකින් හූති සටන්කාමීන් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
යේමනයේ සෞදි අරාබිය සහාය දක්වන රජයේ හමුදාවන්ට එරෙහිව හූති සටන්කාමීන් විසින් සිදුකරන නවතම ප්‍රහාර සහ භූමි ප්‍රදේශ අත්පත් කරගැනීම් හේතුවෙන් කලාපීය මෙන්ම ගෝලීය බලශක්ති ආරක්ෂාවටද තර්ජනයක් එල්ල වී ඇති බව G7 රටවල් පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබියදී මෙම ප්‍රකාශය නිකුත් කර ඇති අතර, ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එම සැසිවාරයට සහභාගි වීමට නියමිතයි.
“සියලු හමුදා ක්‍රියාමාර්ග, සිවිල් නෞකා වෙත එල්ල කරන තර්ජන සහ ප්‍රහාර වහාම නතර කර, සද්භාවයෙන් යුතුව දේශපාලන ක්‍රියාවලියට නැවත පැමිණෙන ලෙස අපි හූති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් G7 විදේශ අමාත්‍යවරු ප්‍රකාශ කර ඇත.
මේ අතර, හූති සටන්කාමීන් විසින් රතු මුහුද ආශ්රිත ප්‍රදේශවල විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගැනීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ යේමන ජාතිකයන් දහස් ගණනක් සිය නිවෙස්වලින් පලා ගොස් තිබෙනවා.
රතු මුහුදේ සිට ඒඩන් බොක්ක සහ ඉන්දීය සාගරය වෙත ගමන් කරන ප්‍රධාන නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශද හූති සටන්කාමීන්ගේ පාලනයට පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, රතු මුහුද ආශ්‍රිතව මෑතකදී ඇති වූ සටන් හේතුවෙන් මේ වන විට යේමන ජාතිකයන් 120,000කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා.
මේ අතර, හූති සටන්කාමීන් විසින් අත්පත් කරගත් යේමනයේ මෝකා නගරයට සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය අය අතර කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු සිටින බවත්, තවත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්.
හූති සටන්කාමීන්ට සම්බන්ධ මාධ්‍ය වාර්තා කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
සෞදි අරාබිය යේමනයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජයට සහාය දක්වන අතර, හූති සටන්කාමීන් මේ වන විට රටේ ජනගහනය වැඩි ප්‍රදේශ රැසක් පාලනය කරනු ලබනවා.
සෞදි අරාබියට එරෙහිව හූති සටන්කාමීන් විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති අතර, නිරිතදිග සෞදි අරාබියේ නගර සහ යටිතල පහසුකම් මෙන්ම රියාද් අගනුවරද එම ප්‍රහාරවල ඉලක්ක වී තිබෙනවා.