
ඩුජුවාන් දරුණු සුළි කුණාටුව ජපානයේ නැගෙනහිර වෙරළ දෙසට වේගයෙන් ගමන් කිරීමත් සමඟ ටෝකියෝ නගරය ඇතුළු අවට ප්‍රදේශ රැසකට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම වසරේ ජපානයට බලපාන 25 වැනි සුළි කුණාටුව ලෙස සැලකෙන ඩුජුවාන් හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීහු ජනතාවට අනතුරු අඟවති.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ ඩුජුවාන් හේතුවෙන් අඟහරුවාදා දක්වා වාර්තාගත මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.
විශේෂයෙන්ම ආපදා අවදානම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස එම ඒජන්සිය වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙත දැනුම් දී තිබේ.
ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ඉබරාකි, චිබා, ටෝකියෝ, කනගාවා සහ ෂිසුවෝකා යන ප්‍රදේශවල පුද්ගලයන් 1,674,084 දෙනෙකුට ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇත
තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් ජපාන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නවතම කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, අවදානම් ප්‍රදේශවලින් ඉවත් වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය.
මේ වන විට ගුවන් ගමන් 200කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර, ඇතැම් දුම්රිය සේවා ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.