
2026 වසර ලොව උණුසුම්ම වසර බවට පත්වීමේ දැඩි අවදානමක් – විද්‍යාඥයෝ අනතුරු අඟවති
දේශගුණික විපර්යාස සහ එල් නිනෝ (El Niño) කාලගුණික සංසිද්ධියේ බලපෑම හේතුවෙන් 2026 වසර ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීන දේශගුණික පර්යේෂණ ආයතනයක් වන බර්ක්ලි අර්ත් (Berkeley Earth) ආයතනය පවසන්නේ, වසරේ තවත් මාස දෙකක් ඉතිරිව තිබියදීත්, 2026 වසර 2024 වසරේ පිහිටුවා ඇති උෂ්ණත්ව වාර්තාව අභිබවා යනු ඇති බවට සියයට 95ක විශ්වාසයක් පවතින බවයි.
මේ පිළිබඳ අනතුරු ඇඟවීම නිකුත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 31 වැනි දේශගුණික විපර්යාස සමුළුව (COP31) ආරම්භ කිරීම සඳහා ලෝක නායකයන් සහ සාකච්ඡා නියෝජිතයන් තුර්කියට එක්ව සිටින පසුබිමකය.
බර්ක්ලි අර්ත් ආයතනයේ විද්‍යාඥ ආචාර්ය රොබට් රෝඩ් පවසන්නේ, මෑත වසර කිහිපය තුළ අඛණ්ඩව උෂ්ණත්ව වාර්තා බිඳ වැටීම ගෝලීය උණුසුම ඉහළ යාමේ අපේක්ෂිත ප්‍රතිඵලයක් බවයි.
ග්ලැසියර කඩා වැටීම්, වාර්තාගත තාප තරංග සහ නියඟ වැනි තත්ත්වයන් ඉදිරියේදී තවදුරටත් උග්‍ර විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
මෑත මාස කිහිපය තුළ යුරෝපයේ රටවල් රැසකට බලපෑ දරුණු ලැව්ගිනි සහ නේපාලයේ සිදුවූ ග්ලැසියර කඩා වැටීම හේතුවෙන් සිදුවූ දැවැන්ත ජීවිත හානි, දේශගුණික විපර්යාසවල බරපතළකම මනාව පෙන්නුම් කරයි.
යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික සේවාව ද පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ඔක්තෝබර් මාසය බවයි.
එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ද සඳුදා නිකුත් කළ වාර්තාවෙන් සඳහන් කර ඇත්තේ 2026 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර හතර අතරට එක්වනු ඇති බවයි.
එමෙන්ම, අසාමාන්‍ය ලෙස ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් 2027 වසර දක්වා පැවතීම හේතුවෙන් ඉදිරි වසරේදී ද ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බව එම සංවිධානය පුරෝකථනය කරයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් සෙලෙස්ටේ සවුලෝ පවසන්නේ, වත්මන් උෂ්ණත්ව ඉහළ යාම සාමාන්‍ය මට්ටම් ඉක්මවා ගොස් ඇති බවයි.
දේශගුණික අර්බුදයට මුහුණදීමේ අභියෝගය
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පොසිල ඉන්ධන දහනය ඇතුළු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යාමයි.
මෙම වායු මඟින් පෘථිවියෙන් පිටතට නිකුත් වන තාපය රඳවා ගැනීම හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන අතර, එම අතිරේක තාපයෙන් සියයට 90ක් පමණ සාගර ජලය විසින් අවශෝෂණය කරගෙන තිබේ.
එල් නිනෝ සංසිද්ධිය මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එමඟින් පෘථිවියට අලුතින් තාපය එක් නොකරන නමුත්, දැනටමත් අධික ලෙස උණුසුම් වී ඇති සාගරවල ගබඩා වී ඇති තාපය වායුගෝලයට මුදාහැරීම සිදු කරයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ, මෙතෙක් මැන ඇති ඉහළම උෂ්ණත්ව මට්ටම්වල පවතින සාගරවලින් මුදාහැරීමට තවත් විශාල තාප ප්‍රමාණයක් පවතින බවයි.
මේ වන විට ලෝකය සියවස අවසන් වන විට පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙල්සියස් අංශක 2.8ක පමණ ගෝලීය උෂ්ණත්ව ඉහළ යාමක් කරා ගමන් කරමින් සිටින බවට ඇස්තමේන්තු කර තිබේ.
එය පැරිස් දේශගුණික ගිවිසුම යටතේ එකඟ වූ සෙල්සියස් අංශක 1.5ක සීමාව සැලකිය යුතු ලෙස ඉක්මවා යාමකි.
COP31 සමුළුවෙන් අපේක්ෂිත ප්‍රගතිය
දේශගුණික විපර්යාස සඳහා හේතු වන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම මීට පෙර පැවැති දේශගුණික සමුළුවල ප්‍රධාන අවධානය වූවද, මේ වන විට රටවල් රැසකට දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීමේ අවශ්‍යතාව ද දැඩිව මතුව තිබේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික ප්‍රධානී සයිමන් ස්ටීල් පෙන්වා දෙන්නේ, එක් සමුළුවකින් පමණක් දේශගුණික අර්බුදයට සම්පූර්ණ විසඳුමක් ලබාදිය නොහැකි බවයි.
එහෙත් පවතින තත්ත්වයේ හදිසිභාවය හඳුනාගෙන කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව
අවධාරණය කිරීමට නියමිතය.
පසුගිය සමුළුවලදී පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය සහාය ලබාදීම සහ වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ එකඟතාවලට එළඹ තිබේ.
කෙසේ වෙතත්, හරිතාගාර වායු විමෝචනය තවමත් ඉහළ යමින් පැවතිය ද පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වැඩි කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පුරෝකථනය කර ඇත්තේ ඉදිරි වසර හය තුළ පුනර්ජනනීය බලශක්ති වර්ධනය පෙර කාලසීමාවට සාපේක්ෂව සියයට 57කින් වැඩි වනු ඇති බවයි.
පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීම දේශගුණික අර්බුදයට විසඳුමක් පමණක් නොව, බලශක්ති මිල ඉහළ යාම වැනි ආර්ථික අභියෝගවලට ද සහනයක් වන බව එක්සත් ජාතීන්ගේ දේශගුණික ප්‍රධානියා පෙන්වා දෙයි.
මෙවර සමුළුවේදී බලශක්ති පද්ධති පොසිල ඉන්ධනවලින් ඉවත් කර විදුලිය මත පදනම් වූ පද්ධති වෙත යොමු කිරීම හෙවත් විදුලිකරණය (Electrification) සඳහා නව ඉලක්කයක් සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට තුර්කි රජය අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් රටවල් අතර මතභේද ඇතිවිය හැකි බව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම යුරෝපා සංගමය අවධාරණය කරන්නේ විදුලිකරණ ඉලක්ක සපුරාලීමේදී ස්වභාවික වායුව වැනි පොසිල ඉන්ධන පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බවයි. එහෙත් සෞදි අරාබිය සහ රුසියාව වැනි රටවල් ගල් අඟුරුවලට වඩා අඩු දූෂණයක් සිදුකරන විකල්පයක් ලෙස ස්වභාවික වායුව භාවිත කිරීම වෙනුවෙන් මීට පෙර පෙනී සිට ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය සහාය
දේශගුණික විපර්යාසවල බලපෑම්වලට මුහුණදීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන මූල්‍ය සහාය ද මෙවර සමුළුවේ ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.
ධනවත් රටවල් මීට පෙර එකඟ වී තිබුණේ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන මූල්‍ය ආධාරය 2035 වන විට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 85ක් දක්වා තුන් ගුණයකින් ඉහළ නැංවීමටය.
එහෙත් 2024 වසරට අදාළ නවතම දත්ත අනුව එම ඉලක්කයෙන් තුනෙන් එකක් පමණක් සපුරා තිබේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් සිදුවන හානි සැලකිය යුතු මට්ටමක පවතින බැවින් තවත් විශාල මූල්‍ය ප්‍රමාණයක් අවශ්‍ය විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
මේ අතර, ඇතැම් රටවල් ආරක්ෂක වියදම් සහ ජනතාවට ලබාදෙන කෙටි කාලීන ආර්ථික සහන සඳහා වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් දේශගුණික ආධාර සඳහා වෙන්කරන මුදල් සීමා වී තිබේ.
එක්සත් රාජධානිය ද නව දේශගුණික ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට වඩා දැනටමත් ඇති කරගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට අදහස් පළ කර ඇත.
එහෙත් එරට විදේශ ආධාර අයවැය කප්පාදු කිරීම හේතුවෙන් දේශගුණික මූල්‍ය පොරොන්දු ඉටු කිරීම පිළිබඳ විවේචන එල්ල වී තිබේ.
මෙවර COP31 සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ ගෝලීය ප්‍රතිපත්ති පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.
විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ දත්ත මධ්‍යස්ථානවල (Data Centres) බලශක්ති සහ ජල පරිභෝජනය ඉහළ යාම පිළිබඳව රටවල් අතර අවධානය යොමුව තිබේ.
මේ අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ස්වාභාවික ආපදා සඳහා රටවල් සහ ජනතාව සූදානම් විය යුතු බවට ද අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතී.
බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විද්‍යාඥ ස්ටීවන් බෙල්චර් පවසන්නේ, වර්තමාන ලෝකය 20 වැනි සියවසේ පැවැති දේශගුණික තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බැවින් එයට අනුව සියලු අංශවල ජීවන රටාවන් වෙනස් කිරීමට සිදුවනු ඇති බවයි.
ඒ අනුව, දේශගුණික විපර්යාසවලට හේතු වන කාබන් විමෝචනය අවම කිරීම පමණක් නොව, ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණදීම සඳහා රටවල් සූදානම් කිරීම ද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය බවට පත්ව තිබේ.