
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) නිලධාරීන් විසින් මෑතකදී පරීක්ෂාවට ලක් කර ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කර ඇත්තේ, ඉරානය සිය න්‍යෂ්ටික වගකීම් අත්හිටුවා නොමැති නමුත්, ඉරාන න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ආරක්ෂණ විධිවිධාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම අඩාල වී ඇති බවයි.
න්‍යෂ්ටික අවි වැළැක්වීමේ ගිවිසුමේ ( Non-Proliferation Treaty - NPT) පාර්ශ්වකරුවකු වන ඉරානය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ ඇති ආරක්ෂණ ගිවිසුමට අනුකූලව කටයුතු කළ බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඇති වූ බාධා සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම ප්‍රහාර එල්ල කළ පාර්ශ්ව බවත්, පවතින අසාමාන්‍ය තත්ත්වය යටතේ මීට පෙර පැවති ආකාරයෙන් සහයෝගීතාව පවත්වාගෙන යාම අපහසු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වවල ක්‍රියාකලාපය නොසලකා හරිමින් අදහස් පළ කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ එහි පාලක මණ්ඩලය සිය නීතිමය වගකීම් ඉටු කිරීමට අසමත් වී ඇති බවටද චෝදනා කර තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත්, ඉරානයේ වියානාහි පිහිටි නියෝජිත කාර්යාලය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අතර වෘත්තීය මට්ටමේ සන්නිවේදන කටයුතු තවදුරටත් සිදුවන බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.
බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය මෑතකදී පරීක්ෂාවට ලක් කිරීම, ඉරානය සහ එම ඒජන්සිය අතර නියාමන රාමුව යටතේ පවතින සහයෝගීතාව තවදුරටත් ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.