
ඇමෙරිකානු පුරවැසියන් ඉලක්ක කරගත් මාරාන්තික ප්රහාර කිරීමේ උත්සාහයන් ඉහළ මට්ටමකට පැමිණ ඇති බවට ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු හෙළි කර තිබෙනවා.
මැදපෙරදිග ඇතුළු ලෝකයේ විවිධ ප්රදේශවල සිටින ඇමෙරිකානු නිලධාරීන් ඉලක්ක කරගැනීම සඳහා ඉරානය සිය උත්සාහයන් සැලකිය යුතු ලෙස තීව්ර කර ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසනවා .
ඇමෙරිකානු ජාතික බුද්ධි අධ්යක්ෂ ජේ. ක්ලේටන් විසින් මෙම අනතුරු ඇඟවීම ඇතුළත් බුද්ධි සංදේශයක් පසුගිය සිකුරාදා රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ වෙත යොමු කර ඇති බව සඳහන්.
එම සංදේශයේ සඳහන් කර ඇති පරිදි, “ඇමෙරිකානු නිලධාරීන් ඉලක්ක කරගැනීම සඳහා ඉරානය සිය උත්සාහයන් සැලකිය යුතු ලෙස වැඩි කර ඇති බවට අප වෙත බුද්ධි තොරතුරු ලැබී තිබේ” යනුවෙන් ක්ලේටන් ප්රකාශ කර ඇත.
එමෙන්ම, “ඇමෙරිකානු පුරවැසියන්ට එරෙහිව මාරාන්තික ප්රහාර එල්ල කිරීම සඳහා ඉරාන පාර්ශ්වය දරන සැලසුම්කරණ උත්සාහයන් මැදපෙරදිග කලාපයේ මෙන්ම තවත් රටවල් කිහිපයක ද දියුණු අදියරකට පැමිණ තිබේ” යනුවෙන් ද ඔහු එම සංදේශයේ සඳහන් කර තිබෙනවා.
මේ අතර, යේමනයේ හූති සටන්කාමීන්ගෙන් එල්ල වන ප්රහාර ඉහළ යාමත් සමඟ සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලවල අත්යවශ්ය නොවන සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරටින් පිටව යන ලෙස ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පසුගියදා නියෝග කර ඇත.
එසේම, ජෝර්දානය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්යයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලවල ද සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්රෙස් (AP) පුවත් සේවය වාර්තා කර ඇත.
කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින පසුබිමක මෙම බුද්ධි අනතුරු ඇඟවීම නිකුත් වී ඇති අතර, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.