
ආයුධ හා ගෑස් මුහුණු ආවරණ රැසක් අත්අඩංගුවට
ප්රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත තවත් විරෝධතා මාලාවක් හමුවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති තිබෙනවා.
නගරය පුරා සිදුකළ පරීක්ෂා කිරීම්වලදී තහනම් ද්රව්ය රැසක් අත්අඩංගුවට ගත් බව ප්රංශ පොලිසිය පවසනවා.
සිදු කළ මෙහෙයුම්වලදි පිහි, ගෑස් මුහුණු ආවරණ කිහිපයක්, ආරක්ෂිත හිස්වැසුමක්, කෝණ ඇඹරුම් යන්ත්රයක්, බැටන් පොලු සහ ආරක්ෂිත ඇස් කණ්ණාඩි අත්අඩංගුවට ගත් බව සඳහන්.
පැරිස් පොලිස් ප්රධානියාගේ කාර්යාලය සිය X සමාජ මාධ්ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, අයහපත් අරමුණු සහිතව අගනුවරට පැමිණිය හැකි පුද්ගලයන් අධෛර්යමත් කිරීමේ අරමුණින් පරීක්ෂා කිරීම් දැඩිව සිදු කරන බවයි.
මේ අතර, පැරිස් නුවර නිල වශයෙන් අවසර ලබා දී ඇති එකම විරෝධතා පෙළපාළියේ ගමන් මාර්ගය වෙනස් කිරීමට බලධාරීන් තීරණය කර ඇත්තේ පෙර රාත්රියේදීය.
එම තීරණය ගැනීමට සිදුව ඇත්තේ අවසන් මොහොතේදී බව වාර්තා වේ.
ලැබී ඇති බුද්ධි තොරතුරු සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තක්සේරුවක් මත නගරයේ පොලිස් ප්රධානියා විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
පසුගිය සති අන්තයේ ඇති වූ කලහකාරී තත්ත්වය යළි ඇතිවීම වැළැක්වීම බලධාරීන්ගේ ප්රධාන අරමුණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන්ගේ ක්රියාකාරකම්වලට කඩිනමින් ප්රතිචාර දැක්වීම පොලිසියට අභියෝගයක් වී ඇත.
මේ අතර, පැරිස් නුවර ආරක්ෂක කටයුතු සඳහා යතුරුපැදිවලින් ගමන් කරන, කළු ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බව වාර්තා වේ.
‘බ්රාව්-එම්’ (Brav-M) ලෙස හැඳින්වෙන මෙම ජංගම පොලිස් ඒකක 2019 වසරේ ප්රංශයේ ‘කහ කබා’ (Yellow Vest) විරෝධතා මාලාවෙන් පසුව ස්ථාපිත කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ඒකකවල ක්රියාකාරිත්වය සම්බන්ධයෙන් මතභේද පවතී.
විරෝධතාකරුවන්ට එරෙහිව අධික බලය භාවිත කරන බවට එම ඒකකවලට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා පොලිසිය ප්රතික්ෂේප කරනවා.
විරෝධතා තවදුරටත් පැවැත්වීමට නියමිත පසුබිමක, මහජන ආරක්ෂාව තහවුරු කිරීමත්, සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතියට ගරු කිරීමත් අතර සමතුලිතතාව පවත්වා ගැනීම ප්රංශ බලධාරීන් හමුවේ ඇති ප්රධාන අභියෝගයක් වී තිබෙනවා.