
ලියොනෙල් මෙසී අඟහරුවාදා ආර්ජන්ටිනා කණ්ඩායමේ නිල් සහ සුදු ජෙර්සියෙන් සැරසී සිය අවසන් සුපිරි දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය. බෙනින් රාජ්‍යයට එරෙහිව පැවැති සුහද තරගයෙන් ගෝල 3-0 ක ජයක් ලබද්දී, එක් ගෝලයක් වාර්තා කරමින් සහ තවත් ගෝල දෙකකට මග පාදමින් ආර්ජන්ටිනා නායකයා සිය වසර 21 ක අද්විතීය ජාත්‍යන්තර පාපන්දු දිවිය නිමා කළේය.
'මොනුමෙන්ටල්' (Monumental) ක්‍රීඩාංගණයේ රැස්ව සිටි 85,000 කට අධික ප්‍රේක්ෂකයින් හමුවේ 39 හැවිරිදි මෙසීගේ මෙම අවසන් සමුගැනීම, හුදෙක් පාපන්දු තරගයකට වඩා ජාතික කණ්ඩායමට ඔහු කළ මෙහෙවර වෙනුවෙන් පැවැති ජාතික උත්සවයක් බඳු විය.
අගනුවර ප්‍රධාන ස්මාරක සහ ස්ථාන ආර්ජන්ටිනා කණ්ඩායමේ සාම්ප්‍රදායික නිල් සහ සුදු පැහැයෙන් බැබළුණු අතර, පිරී ඉතිරී ගිය ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂකයින් මහත් ගෞරවයෙන් ජාතික ගීය ගායනා කරද්දී ක්‍රීඩාංගණයට ඉහළින් ගිනිකෙළි සංදර්ශන පැවැත්විණි.
1978, 1986 සහ 2022 ලෝක කුසලාන දිනූ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමඟ මෙසීගේ පවුලේ සාමාජිකයින්ද ප්‍රේක්ෂකාගාරයේ සිට ආඩම්බරයෙන් මෙය නරඹන ලදී.
ඊට පැය කිහිපයකට පෙර, මෙසීගේ උපන්ගම වන රොසාරියෝ හි ජාතික කොඩි ස්මාරකයේ "Gracias" (ස්තුතියි) යනුවෙන් සටහන් කළ විශාල අංක 10 ජෙර්සියක් ප්‍රදර්ශනය කර තිබුණි.
මෙසීගේ නමින් නම් කර ඇති පුහුණු මධ්‍යස්ථානයේ සිට කණ්ඩායමේ බස් රථය ගමන් කරන විට, මග දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව දකිද්දී මෙසීගේ නෙතඟට කඳුළු නැගුණි.
තරගයට පෙර පැවැති අතට අත දීමේ අවස්ථාවේදී බෙනින් කණ්ඩායමේ නායකයා මෙසී වෙත තෑග්ගක් සහ ලිපියක් පිරිනමමින් ඔහු වෙනුවෙන් සිය ගෞරවය පිරිනැමීය.
ගෝල රහිත පළමු අර්ධයකින් පසුව, නිකොලස් ඔටමෙන්ඩිට ආර්ජන්ටිනාවේ පළමු ගෝලය වාර්තා කිරීමට මෙසීගෙන් සහාය ලැබිණි. ඔටමෙන්ඩි ලෝක කුසලාන හතරක් ඇතුළුව වසර 17 ක් මෙසී සමඟ ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර, ඔහුද මෙම තරගයෙන් පසු සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කළේය.
පසුව, ආර්ජන්ටිනාවේ අංක 10 ජෙර්සියේ අනාගත හිමිකරුවෙකු ලෙස සැලකෙන නිකෝ පාස් වෙත දෙවැනි ගෝලය වාර්තා කිරීමට මෙසී මග පාදා දුන්නේය.
කථාන්දරයක සුබ අභිප්රායාත්මක අවසානයක් මෙන්, දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් මෙසී ලකුණු තත්ත්වය 3-0 ක් බවට පත් කළේය. එය ඔහුගේ 126 වැනි ජාත්‍යන්තර ගෝලය වූ අතර, ප්‍රේක්ෂකයින් නැවතත් "මෙසී, මෙසී" යනුවෙන් හඬ නඟන්නට වූහ.
තරගයේ අවසන් විසිල් හඬත් සමඟ, කණ්ඩායමේ සගයන්, ප්‍රතිවාදීන් සහ විනිසුරුවරයා මෙසී වටා රැස්ව ඔහුව වැළඳගත් අතර, ඔහුගේ අතිශය සාර්ථක ආර්ජන්ටිනා ක්‍රීඩා දිවියේ අවසානය සනිටුහන් කරමින් අහසේ ඩ්‍රෝන (Drone) සංදර්ශනයක් පැවැත්විණි.
මෙසී ජාතික කණ්ඩායමෙන් සමුගන්නේ වැඩිම තරග ගණනකට (208) ක්‍රීඩා කළ සහ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි. වසර ගණනාවක පසුබෑම් ලෝක කුසලාන සහ කොපා ඇමෙරිකා ජයග්‍රහණ දක්වා පරිවර්තනය කිරීමට ඔහු සමත් විය.
වසර ගණනාවක් පුරා ආර්ජන්ටිනාව මෙසීගෙන් ජයග්‍රහණ ඉල්ලා සිටියේය. නමුත් අඟහරුවාදා, මුළු රටම එකතු වූයේ ඔහුට එකම හඬින් 'ස්තුතියි' කීමට පමණි.