
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් සුලෙයිමාන් අල්අමෙරි (Khaled Nasser Sulaiman AlAmeri) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම, කලාපීය සංවර්ධනයන් සහ නව ආර්ථික අවස්ථා ගවේෂණය කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ සංවර්ධන යන ක්ෂේත්රයන්හි පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමු විය.
විශේෂයෙන්ම නැගී එන ක්ෂේත්රයන් ඔස්සේ දෙරටට එක්ව කටයුතු කළ හැකි නව මාර්ග හඳුනාගැනීමටත්, දිගුකාලීන ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම, මැදපෙරදිග කලාපයේ වර්තමානයේ පවතින යුද ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට සහ බලශක්ති මිල ගණන්වලට සිදුවන බලපෑම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ පාරිභෝගිකයන්ට එල්ල විය හැකි අභියෝග පිළිබඳවද අදහස් හුවමාරු කර ගැනිණි.
මීට අමතරව, කලාපයේ ආරක්ෂක තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන විශාල සංඛ්‍යාවකින් යුත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳවද දෙපාර්ශ්වයම කරුණු සාකච්ඡා කළහ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකයට ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය දක්වන දායකත්වය අගය කළ දෙපාර්ශ්වයම, වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය වන පරිදි සමීප සබඳතාවක් පවත්වාගෙනයාමේ වැදගත්කම යළි අවධාරණය කර තිබේ.