
උතුරු සිරියාවේ ඇලෙප්පෝ නගරයට ආසන්න හමුදා අවි ගබඩාවක සිදුවූ ප්‍රබල පිපිරීම් මාලාවකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
අද (21) අලුයම ඇලෙප්පෝ නගරයට දකුණින් පිහිටි අල්-ඊස් ප්‍රදේශයේ හමුදා කඳවුරක මෙම පිපිරීම් සිදුව ඇති අතර පිපිරීම්වලට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
සිරියානු රාජ්‍ය පුවත් ඒජන්සිය වන SANA වෙත අදහස් දක්වමින් ඇලෙප්පෝ සිවිල් ආරක්ෂක මෙහෙයුම් ප්‍රධානී ෆයිසාල් මොහොමඩ් අලි සඳහන් කර ඇත්තේ, තුවාල ලැබූ සිව්දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කළ බවයි.
පළමු පිපිරීමෙන් අනතුරුව තවත් පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර, ඒවා කිලෝමීටර් කිහිපයක් දුරින් සිටි අයට පවා ඇසුණු බව වාර්තා සඳහන් කරනවා.
ඇලෙප්පෝ ආණ්ඩුකාර අසාම් අල්-ගරීබ්, තත්ත්වය පාලනය කරන තුරු නිවෙස්වලින් පිටතට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
රෝහල්, ගිලන් රථ සේවා සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සම්පූර්ණ සූදානමින් තබා ඇති බවද ඔහු සඳහන් කර ඇත.
දශකයකට අධික කාලයක් සිවිල් යුද්ධයක් පැවති සිරියාවේ හමුදා ස්ථාන ආශ්‍රිතව මෑත කාලයේ මෙවැනි පිපිරීම් කිහිපයක් වාර්තා වී ඇත.
පසුගිය සිකුරාදා නැගෙනහිර ඩෙයර් අස්-සෝර් පළාතේ හමුදා ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබුණා.
එමෙන්ම, මේ මස මුලදී වයඹදිග ඉඩ්ලිබ් පළාතේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.