
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් 5 දෙනා දෙසැම්බර් 04 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
මාතර විවිධ සේවා සමූපකාර සමිතිය සහ මාතර රෝහල් සමූපකාර සමිතිය ඇතුළු සමූපකාර සමිති ගණනාවක සිදුව ඇති රුපියල් කෝටි 3,000කට අධික මූල්‍ය වංචාවට අදාළව, නඩු අංක 3904 යටතේ ඊයේ (20) කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස් දෙනා ලබන දෙසැම්බර් 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් පිළිවෙලින් කල්පනී භාග්‍යා ගුණසේකර, සුරංග ලක්මාල් එදිරිසිංහ, ඩනිත් මංජුල විජේතුංග ආරච්චි, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත, දුමින්ද සුරංග ගුණසේකර යන අයයි.
මෙම සැකකරුවන් අතරින් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට 'Zoom' තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, සෙසු සැකකරුවන් සිව්දෙනා මාතර බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් ප්‍රියානි රත්නායක, සාරංග වාදසිංහ සහ සංජය කඹුරුගමුව යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දැක්වුවද, විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා එල්ල විය හැකි බව සලකා අධිකරණය ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
සැකකරුවන් සතුව ඇති වාහන සහ දේපළ උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම සහ සමූපකාරයේ මුදලින් එම වාහන සඳහා වාරික මුදල් ගෙවා තිබීම මොවුන්ට එරෙහි ප්‍රධාන චෝදනා වේ.
මේ වන විට සැකකරුවන් සතුව තිබූ වාහන 12ක් අධිකරණය මඟින් තහනම් කර ඇති අතර, එම වාහන සඳහා ප්රතිග්රහකයා ලෙස දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කර තිබේ.
නඩුවට අදාළ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් තවදුරටත් සිදු කරනු ලබයි.