
සංචාරක එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් වුණා.
ඒ එංගලන්තය ලකුණු 19කින් පරාජය කරමින්.
එහිදී ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිලට පන්දුවාර 49.2ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 252ක් පමණයි.
ඒ අනුව බෙන් ඩකට් ලකුණු 62ක්ද, ජෝ රූට් ලකුණු 61ක්ද, ජේකබ් බෙතෙල් ලකුණු 15ක්ද, රෙහාන් අහමඩ් ලකුණු 27ක්ද, ජේමි ඕවර්ටන් ලකුණු 34ක්ද, ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත්වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුළු 03ක්ද, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 02ක බැගින්ද, අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවාගත්තා.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුනු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, එහිදී කඩුළු 06ක් දැවී ලකුණු 271ක් රැස් කළා.
ඒ අනුව, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක්ද, දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක්ද, ජනිත් ලියනගේ ලකුණු 46ක්ද, කමිල් මිෂාර ලකුණු 27ක්ද, පැතුම් නිශ්ශංක ලකුණු 21ක්ද, නායක චරිත් අසලංක ලකුණු 17ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වීමට සමත් වුණා.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ආදිල් රෂීඩ් කඩුළු 03ක්ද, සෑම් කරන්, රෙහාන් අහමඩ් සහ ලියම් ඩෝසන් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.