
ගාසා තීරයට බලපා ඇති ශීත ඍතුවේ පළමු දැඩි වැසි කුණාටුව හේතුවෙන් එහි අවතැන් වූ පලස්තීන පවුල් දහස් ගණනක් රැඳී සිටින තාවකාලික කූඩාරම් ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් ඇතුළු විශාල පිරිසක් දැඩි ශීතලට සහ රෝගාබාධවලට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ගාසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (07) අලුයම ආරම්භ වූ වර්ෂාවත් සමඟ පැය 10ක කාලයක් තුළ පමණක් ආපදා සහන ඉල්ලා හදිසි ඇමතුම් 1,500ක් පමණ ලැබුණු බවයි
අවතැන් ජනතාව රැඳී සිටින ඇතැම් තාවකාලික කඳවුරු තුළ ජල මට්ටම සෙන්ටිමීටර් 30ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
ගාසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මහමුද් බසල් අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ, තමන් කලින් බිය වූ ආපදා තත්ත්වය මේ වන විට සැබෑවක් බවට පත්ව ඇති බවයි.
"අවතැන් ජනතාව රැඳී සිටි ඇතැම් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව ද වාර්තා සඳහන් කරනවා.
විශේෂයෙන් නොමේරූ ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ රෝගීන් මෙම තත්ත්වය හමුවේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවද සඳහන්.
"කූඩාරම්වල ජීවත් වන ජනතාව ඕනෑම මොහොතක මරණයට හෝ බරපතළ රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක සිටිනවා" යැයි මහමුද් බසල් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ඊශ්‍රායලයේ යුද මෙහෙයුම්වලදී හානි සිදුවූ ගොඩනැගිලි කිහිපයක්ද කඩා වැටී තිබෙනවා.
මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් ප්‍රදේශයේ අර්ධ වශයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සිටි පිරිසක් සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂිතව ඉවත් කර අති බව සඳහන්.
ගාසා නගරය, ඛාන් යූනිස් සහ ඩේර් අල්-බලාහ් ප්‍රදේශවල අවතැන් කඳවුරුවල තත්ත්වය දැක්වෙන දර්ශනවලින් පෙනී යන්නේ ජනතාව වළලුකර දක්වා ජලය පිරුණු ස්ථාන හරහා ගමන් කරන ආකාරයයි.
දකුණු ගාසා තීරයේ අල්-මවාසි වෙරළබඩ ප්‍රදේශයේ පමණක් අවතැන් වූ පුද්ගලයන් 900,000කට අධික පිරිසක් රැඳී සිටින බව වාර්තා වනවා.
එම ප්‍රදේශයට ඊයේ රාත්‍රී 10.00 සිට අඛණ්ඩව වර්ෂාව ඇදහැලී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන පවුල් 125,000කට අධික සංඛ්‍යාවක් මුහුදු රළ හේතුවෙන් තම කූඩාරම් ගසාගෙන යාමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවද ඔහු වැඩිදුරටත් වාර්තා කර ඇත.
ගාසා හදිසි ආපදා කමිටුව පවසන්නේ අවතැන් වූ මිලියනයකට අධික ජනතාවක් ඉදිරි ශීත ඍතුවේදී බරපතළ අවදානමකට මුහුණ දෙන බවයි.
මෙම ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සඳහා කූඩාරම් 200,000ක් පමණ සහ තාපය ලබාගැනීමට අවශ්‍ය උපකරණ හා සැපයුම් කඩිනමින් ගාසා තීරයට ලබාදිය යුතු බවද එම කමිටුව අවධාරණය කර තිබෙනවා.
ගාසා තීරයට අවශ්‍ය කූඩාරම්, තාවකාලික නවාතැන් සහ අනෙකුත් සහනාධාර ද්‍රව්‍ය ඇතුළුවීම සඳහා ඊශ්‍රායලය පනවා ඇති සීමා හේතුවෙන් මෙම අර්බුදය තවත් උග්‍ර වී ඇති බවට සහන සංවිධාන චෝදනා කරනවා.