
කටුනායක ගුවන් තොටුපොළේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සහ හෂිස් කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සමඟ තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ වැටලීම් දෙකකදී මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.
පළමු වැටලීමේදී තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් මගින් මෙරටට පැමිණි 38 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක් සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 220ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 852ක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම, එම අවස්ථාවේ සිදුකළ තවත් වැටලීමකදී බැංකොක් සිට පැමිණි 31 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 994ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 620ක් සොයාගෙන ඇත.
එම කාන්තාවට මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම ගුවන් යානයෙන්ම පැමිණි 36 හැවිරිදි තවත් තායිලන්ත ජාතික කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.