
ඉරානයේ යුදමය හැකියාවන් ප්‍රායෝගිකව අවසන් වී ඇති බව ඉරානය සමඟ පවතින යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, යුද මෙහෙයුම් සම්පූර්ණයෙන් නතර කිරීම වෙනුවට දැනට පවතින තත්ත්වය පවත්වාගෙන යාමට තම රජය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.
කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ වොෂින්ටනයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.
“ඉරානයේ යුදමය ශක්තිය ප්‍රායෝගිකව අවසන්. අපි දැන් පවත්වාගෙන යන්නේ පවතින තත්ත්වයයි. එසේ කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඉරානයේ අසල්වැසි රටවල ඉල්ලීම මතයි” යනුවෙන් ඔහු පැවසීය.
මෙම ප්‍රකාශයට පෙර ට්‍රම්ප්, එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ කටාර් අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍යවරයා ද වන ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ කටාර් අග්‍රාමාත්‍යවරයා, කලාපයේ වත්මන් තත්ත්වය සහ එක්සත් ජනපදය හා ඉරානය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කළ බව සඳහන් කළේය.
එමෙන්ම, ගිවිසුමකට එළඹීම සහ කලාපයට සාමය උදාකර ගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකි වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ට්‍රම්ප් සඳහන් කළ පරිදි පවතින තත්ත්වය පවත්වාගෙන යාමට ඉරාන වරායන් වෙත ක්‍රියාත්මක කර ඇති එක්සත් ජනපද නාවික බාධක අඛණ්ඩව පවත්වාගෙන යාම ද ඇතුළත් වේ.
ඊට අමතරව, ගොඩබිම් මාර්ග සහ කැස්පියන් මුහුද හරහා සිදුවන වෙළෙඳ කටයුතු සීමා කිරීම අරමුණු කරගත් 'ටාස්ක් ෆෝස් අයන් ගේට්' (Task Force Iron Gate) නමැති නව මෙහෙයුම ද ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේටය ඇතුළු කලාපීය රටවල් කිහිපයක් වත්මන් තත්ත්වය පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර ඇති බව ද ට්‍රම්ප් පැවසීය.
එමෙන්ම, අවශ්‍යතාවක් මතු වුවහොත් නැවතත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.
“මේ මොහොතේ හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවක් පෙනෙන්නට නැහැ. නමුත් තත්ත්වය වෙනස් වුවහොත් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට අප සූදානම්” යැයි ඔහු සඳහන් කළේය.
මේ අතර, ට්‍රම්ප්ගේ ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ඉරාන බලධාරීහු, ඒවා ව්‍යාජ තොරතුරු බවත්, සැබෑ සාකච්ඡා පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් 'බවත් චෝදනා කළහ.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රේසායි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් එක්සත් ජනපද රජය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
“කල්පිත සාකච්ඡා පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම නවත්වන්න” යනුවෙන් ද ඔහු එක්සත් ජනපදයට අනතුරු ඇඟවීය.
මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ, රටේ උත්තරීතර නායක මොජ්තබා කමේනි වත්මන් යුදමය තත්ත්වය අවසන් කළ යුතු බවට අදහස් පළ කර ඇති බවයි.
යුද්ධයක් හෝ සාමයක් නොමැති අවිනිශ්චිත තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු නොවන බව ද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
තවද, ඉරානය සාකච්ඡා සඳහා විවෘතව සිටියද බලහත්කාරයෙන් හෝ තර්ජනයෙන් කිසිදු එකඟතාවකට එළඹීමට සූදානම් නොමැති බව ඔහු අවධාරණය කර ඇත.
පසුබිම් තොරතුරු අනුව, පෙබරවාරි 28 වැනිදා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ගැටුම මැදපෙරදිග කලාපයේ රටවල් රැසකට ව්‍යාප්ත වූ අතර ජාත්‍යන්තර වෙළෙඳාමට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
යුද්ධය ආරම්භ වූ වහාම ඉරානය ලෝකයේ ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගත්තේය.
තෙල්, ස්වාභාවික වායු සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම සමුද්‍ර සන්ධිය ඉතා වැදගත් වේ.
එමෙන්ම, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය කටාර්, බහරේනය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.
එම ප්‍රහාරවලින් බොහොමයක් එක්සත් ජනපද හමුදා ස්ථාන ඉලක්ක කර තිබිණි.
මේ අතර, සෞදි අරාබිය ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම් යළි තීව්ර කර ඇති අතර, ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ සිය හමුදා ක්‍රියාකාරකම් පුළුල් කරමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ ඉරානයට එරෙහි එක්සත් ජනපද හමුදා මෙහෙයුම් විටින් විට ක්‍රියාත්මක වූ අතර, දෙපාර්ශ්වය අතර වරින් වර ගැටුම් ද ඇති වී තිබේ.
මෑතකදී ට්‍රම්ප් පාලනය ඉරානයේ කෙෂ්ම් දූපත වෙත සීමිත ප්‍රහාර එල්ල කළ බව ද ප්‍රකාශ කර තිබිණි.
එමෙන්ම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ තොරතුරු, පහසුකම්, උපකරණ සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන අය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් පිරිනමන බව ද එක්සත් ජනපදය නිවේදනය කර ඇත.
2025 ජුනි මාසයේ පැවැති දින දොළහක යුද්ධයෙන් පසුව ඉරානයේ යුරේනියම් සාරවත් කිරීමේ වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ කළ බව ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම වත්මන් යුද මෙහෙයුම්වල ප්‍රධාන අරමුණක් බවට පත් කරගෙන තිබේ.
කෙසේ වෙතත්, ඉරානය දිගින් දිගටම අවධාරණය කරන්නේ තම යුරේනියම් සාරවත් කිරීමේ වැඩසටහන සිවිල් බලශක්ති අවශ්‍යතා සඳහා පමණක් ක්‍රියාත්මක වන බවත්, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ අරමුණක් තමන්ට නොමැති බවත්ය.
යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය කොන්දේසි හතකට එකඟ විය යුතු බව ද ඉරානය ප්‍රකාශ කර තිබේ. එම කොන්දේසි අතර එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම, අත්හිටුවා ඇති ඉරාන අරමුදල් නිදහස් කිරීම, ඕමානය සමඟ එකඟ වූ නව හෝමූස් සමුද්‍ර සන්ධි නාවික මාර්ගය පිළිගැනීම සහ ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ඇතුළු සියලු පෙරමුණුවල යුද කටයුතු අවසන් කිරීම ඇතුළත් වේ.
මෙම අර්බුදය සමනය කිරීමේදී කටාර් රාජ්‍යය ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින් සිටී.
කටාර් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජනපදය සහ ඉරානය අතර සන්නිවේදන සබඳතා පවත්වාගෙන යාමට ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, සඳුදා පැවැති සාකච්ඡාවේදී ඉරානය විසින් යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ දින දෙකක යෝජනාවක් ද කටාර් අග්‍රාමාත්‍යවරයා ට්‍රම්ප් වෙත ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, යුද්ධය නිල වශයෙන් අවසන් බව ප්‍රකාශ නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් කියා සිටියේ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද නාවික අවහිරතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍ය බවයි.
කෙටි කාලීන විසඳුමකට වඩා දිගුකාලීන එකඟතාවක් ඇති කර ගැනීම තම අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශ යුද්ධය අවසන් කිරීමේ අපේක්ෂාවක් පෙන්නුම් කළ ද, එක්සත් ජනපදය විසින් පනවා ඇති නාවික අවහිරතා සහ ඉරානයේ දැඩි ප්‍රතිචාර හමුවේ දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවකට පැමිණීම තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.