
කොල්ලකරුවන් පැයකදී නීතියේ රැහැනට
ත්රිකුණාමලය, අනුරාධපුර හන්දිය ආසන්නයේ රට බීම හලකට ඇතුළු වී ටී-56 වර්ගයේ ගිනි අවියක් පෙන්වා එහි සිටි පුද්ගලයන් බිය ගන්වා මුදල් කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු ත්රිකුණාමලය පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
ඊයේ (18) වැනිදා රාත්රියේ මෙම කොල්ලය සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන පණිවිඩයකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහා ක්රියාත්මක වී විමර්ශන ආරම්භ කළා.
ඒ අනුව, අපරාධය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනා උප්පුවේලි පොලිස් වසමේ පිහිටි තාවකාලික නවාතැන්පළක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව කිලිපුංචිමලේ ප්රදේශයේ පිහිටි වෙඩි බෙහෙත් ගබඩාවක රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයෙකු ද සිටින බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් දෙදෙනා වයස අවුරුදු 54 සහ 61 අතර පසුවන හක්මන ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද බවට සැක කෙරෙන රුපියල් 11,500ක මුදලක්, ඔවුන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක්, ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ එම ගිනි අවිය සඳහා පතරොම් 29ක් සහිත පතරොම් ගැබක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගැනීමට නියමිතය.