මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුල ප්රමුඛ කොට ගත් ඉන්දීය කෝටිපතියන්ගේ (ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ධනයක් හිමි අය) සංඛ්‍යාව 2025 වසරේදී 358 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
එය පෙර වාර්තාවට වඩා කෝටිපතියන් ගණන 24කින් ඉහළ යාමකි.
'Hurun Rich List 2025' වාර්තාවට අනුව මුකේෂ් අම්බානි (Mukesh Ambani and family) ඇමරිකානු ඩොලර් බිලියන 9.55ක (ඉන්දීය රුපියල් කෝටි 9,55,410) ශුද්ධ වත්කම් සමඟින් ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් කිරුළු දරා තිබේ.
දෙවැනි තැන හිමිව ඇත්තේ ගෞතම් අදානිට (Gautam Adani & family) වන අතර ඔහුට ඇමරිකානු ඩොලර් බිලියන 8.15ක වත්කම් හිමිය (ඉන්දීය රුපියල් කෝටි 8,14,720)
මෙම වාර්තාවට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් (59) ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක (ඉන්දියානු රුපියල් කෝටි 12,490) වත්කමකට හිමිකම් කියමින් ලොව ධනවත්ම නළුවන් අතරට එක්ව තිබේ.
ලැයිස්තුවේ සිටින අනෙකුත් බොලිවුඩ් පුද්ගලයින් අතරට නිළි ජුහි චව්ලා, නළු රිතික් රෝෂන් සහ අමිතාබ් බච්චන් ද චිත්‍රපට අධ්යක්ෂ කරන් ජොහාර් ද ඇතුළත් වේ.
ලැයිස්තුවේ ළාබාලතම කෝටිපතියා (31) වන 'Perplexity' කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර කරගත් සමාගමේ නිර්මාතෘ වන චෙන්නායි හි උපත ලද අරවින්ද් ශ්‍රීනිවාස්ගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 21,190කි.
නව වාර්තාවට අනුව කෝටිපති අගනුවර ලෙස මුම්බායි (451) තවදුරටත් පෙරමුණ ගෙන සිටින අතර, බෙන්ගලූරු (116), හයිද්‍රාබාද් (102), චෙන්නායි (94) සහ පූනේ (66) ඊට පිටුපසින් සිටී.
ක්ෂේත්රයන් අනුව ඖෂධ අංශය ඉදිරියෙන් පසුවන අතර කාර්මික නිෂ්පාදන (132), රසායනික හා ඛනිජ තෙල් රසායනික (125), මෘදුකාංග සහ සේවා (110) දේපල වෙළඳාම් (99) ඊට පසුපසින් සිටියි.
ෂාරුක් ඛාන්ගේ වත්කම් :
ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ දශක තුනකට වැඩි කාලයකට හිමිකම් කියන ෂාරුක් ඉතිහාසගත වන්නේ, ඉන්දියානු නලුවෙකු කලාකරුවෙකු බිලියනපතියකු වූ ප්‍රථම අවස්ථාවට හිමිකම් කියමිනි.
රංගනයට අමතරව ෂාරුක්ගේ ප්‍රධාන ව්‍යාපාර අතරට 'Red Chillies Entertainments' නම් නිෂ්පාදන සමාගම අයත් වේ.
එමෙන්ම ඔහුගේ IPL ක්‍රිකට් සමාජය ද ඊට අයත්.
ඔහුගේ අනෙකුත් ආදායම් මාර්ග අතරට චිත්‍රපට මඟින් කෙරෙන ඉපැයීම්, වෙළඳ දැන්වීම් මෙන්ම ලොව පුරා දේපළ වෙළඳාම්වල වාර්තා වූ ආයෝජන ද ඇතුළත්.
චිත්‍රපට කිහිපයක ඛාන්ගේ සම නිළිය වූ ජුහි චව්ලා සහ ඇගේ පවුල ඩොලර් මිලියන 880 ක ශුද්ධ වටිනාකමක් ලබා ඉන්දීය කලාකරුවන්ගේ ධනවත් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවේ.
මෙම ලැයිස්තුවට අනුව ඩොලර් මිලියන 260 ක ශුද්ධ වත්කමක් ඇති තුන්වන ස්ථානයේ සිටින රිතික් රෝෂන් ද, ඩොලර් මිලියන 200 ක් පමණ වන අධ්යක්ෂ කරන් ජොහාර් සහ ඩොලර් මිලියන 183 ක් පමණ වන නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පවුලේ අය ද ඇතුළත් වේ.