
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අපරාධවල නිරත වන චීන පුරවැසියන්ට වසර තුනක් දක්වා රටින් පිටවීම තහනම් කිරීම ඇතුළුව, චීනයට ඇතුළුවීම සහ එරටින් පිටවීම පාලනය කරන නව දැඩි නීති මාලාවක් බලාත්මක කර තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙමගින් රජයට සිය පුරවැසියන් කෙරෙහි ඇති පාලනය තවදුරටත් ඉහළ යන බවයි.
ඒ අනුව තාක්ෂණික ආනයන සහ අපනයන රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට ද රටින් පිටවීමේ තහනමක් පැනවිය හැකි බවත් නව නීතිවල සඳහන්.
බීජිං සහ වොෂින්ටනය අතර තාක්ෂණික ආධිපත්‍යය සඳහා වන තරඟය උණුසුම් වීමත් සමඟ, චීනය කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍ර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.
වාර්තා වලට අනුව, මෙම කර්මාන්තවල ඇතැම් විධායක නිලධාරීන් සඳහා ද මීට පෙර ගමන් සීමා පනවා තිබුණි.
පසුගිය මාර්තු මාසයේදී, Meta සමාගම විසින් අත්පත් කර ගන්නා ලද Manus නමැති AI සමාගමේ සම-හිමිකරුවන්ට ද චීනයෙන් පිටවීම තහනම් කර ඇති බව වාර්තා විය.
නව නීති යටතේ, "අධි අවදානම්" ලෙස සැලකෙන රටවල් සහ ප්‍රදේශ වෙත ගමන් නොකරන ලෙස චීන ජාතිකයින්ට උපදෙස් දීමට ද දේශසීමා නිලධාරීන්ට බලය පැවරී ඇත.
කෙසේ වෙතත්, මෙම නීති ප්‍රකාශයට පත් කිරීමට පෙර පවා ඇතැම් පුද්ගලයින්ට වෙනත් රටවලට යාම තහනම් කර තිබුණි. රාජ්‍ය සේවකයින් මෙම පාලනයට ලක් වූ මුල්ම කණ්ඩායම් අතර වූ අතර, පසුව එය රාජ්‍ය ව්‍යවසාය සේවකයින් සහ සාමාන්‍ය පුරවැසියන් දක්වා ද ව්‍යාප්ත විය.