
ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිදුවීම් මුල් කරගනිමින් තරුණයින් සිදුකළ දින ගණනාවක විරෝධතාවලින් පසුව ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විරෝධතා නායකයින් සහ මධ්‍යම රජයේ අමාත්‍යවරුන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට පැය කිහිපයකට පෙර, නව දිල්ලියේ විරෝධතාකරුවන් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියදී, ප්‍රධාන් X පණිවිඩයක් තබමින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
"මුළු රට පුරාම ඇති වී තිබෙන තත්ත්වය සලකා බලමින්, රාජ්‍ය විරෝධී බලවේගයන්ට මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන නොගැනීම සඳහා... මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති වෙත යොමු කළා," යැයි ප්‍රධාන් සිය සටහනේ තබා තිබුණි.
"රටේ තරුණයින්ගේ අපේක්ෂාවන්, හැඟීම් සහ සාධාරණ බලාපොරොත්තු මම ඉතා තදින් අගය කරනවා." යන්න ද එහි සඳහන්.
එමෙන්ම සිසුන් සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සහ වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවට "නීතිමය ගැටලුවල පැටලෙනවා" දැකීමට තමා අකමැති බව ද ඔහු සඳහන් කර තිබේ.
ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වූ පුවත පැතිර යාමත් සමඟ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර ප්‍රීති ඝෝෂා පැතිරෙන්නට විය.
මෙම විරෝධතාකරුවන්, 'කොක්රෝච් ජනතා පක්ෂය' (Cockroach Janta Party - CJP) ලෙස හඳුන්වන දේශපාලන ව්‍යාපාරයෙහි කොටස්කරුවන් වේ.
අගනුවර පවතින විරෝධතා පාලනය කිරීම සඳහා මධ්‍යම බලධාරීන් විසින් අන්තර්ජාල පහසුකම් සහ මෙට්‍රෝ දුම්රිය ස්ථාන 18 කට ප්‍රවේශ වීම සීමා කර ඇත.
පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගිය සිසුන් පිරිසක් මැඩපැවැත්වීම සඳහා පොලිසිය පහරදීම්, කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කිරීම නිසා සිසුන් රැසක් තුවාල ලැබීමෙන් පසු ජනතා කෝපය තවත් වැඩි විය.
CJP හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ රජය අතර දෙවන වටයේ සාකච්ඡා අද පැවැත්වීමට නියමිතව තිබුණි. එම හමුව තවදුරටත් පැවැත්වෙන්නේද යන්න මෙතෙක් පැහැදිලි නැත.
ඊයේ දින ද සාකච්ඡා පැවැත්වූ අතර, ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමට ප්‍රතිචාර දැක්වීම සඳහා සෙනසුරාදා පස්වරුව දක්වා කල් ලබා දෙන ලෙස රජය ඉල්ලා සිටියේය.
කිසිදු විරෝධතාකරුවෙකුට එරෙහිව අපරාධ චෝදනා නොගන්නා ලෙසත්, ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් සිසුන්ගේ පවුල්වලට වන්දි ගෙවන ලෙසත් මෙම ව්‍යාපාරය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මෑත වසරවලදී මෝදිගේ රජයට එරෙහිව එල්ල වූ වඩාත්ම කැපී පෙනෙන මහජන විරෝධතාවක් වන මෙය, රැකියා හිඟය, දූෂණය සහ රජයේ වගවීම පිළිබඳව ජනතාව තුළ පවතින වර්ධනය වන කෝපය පිළිඹිබු කරයි.