
මොසැම්බික් ධජය යටතේ ධාවනය වූ ඩිෂා (DISHA) නම් තෙල් නෞකාව ඉරානයේ මුහුදු සීමාවට ඇතුළුවෙමින් සිටියදී සන්නද්ධ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව එහි සිටි ඉන්දීය නාවිකයින් 28 දෙනාම ආරක්ෂිතව බේරාගත් බව ඉරාන බලධාරීන් පවසනවා. නෞකාව ප්‍රහාරයට ලක්වූ වහාම ඉරාන වෙරළාරක්ෂක බලකායට හදිසි ආධාර ඉල්ලීමක් (Distress Call) යොමු කර ඇති අතර, එයට ප්‍රතිචාර දක්වමින් ඉරාන සමුද්‍රීය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් ක්රියාත්මකවි අදාල ස්ථානයට ගොස් ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදුකර තිබෙනවා. ඉන්දියාවේ ඉරාන තානාපති මොහම්මද් ෆතාලි පවසන්නේ, නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්, එනම් ඉන්දීය ජාතිකයින් 28 දෙනාම ආරක්ෂිතව බේරාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ විදේශීය නාවික හමුදා මැදිහත්වීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා සඳහන් කළේ, එවැනි බාහිර හමුදා පැමිණීම කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට නොව, ආතතීන් සහ අස්ථාවරත්වය වැඩි කිරීමට හේතු වී ඇති බව අත්දැකීම් මගින් පෙන්නුම් කරන බවයි.