
ආන්දෝලනයට තුඩුදුන් ඉල්ලා අස්වීමෙන් පසුව, Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට ජේන්සන් හුවාන් (Jensen Huang) යළිත් පත්කර තිබෙනවා.
ඒ, ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීමකට අනුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජෙන්සන් හුවාන්, එලෙස යලි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමෙන් පසු සේවයට පැමිණි පළමු දිනයේදී සේවකයින්ට 'මිනි-සැන්ඩ්විච්' ද බෙදාදී තිබුණි.
එහිදී, සේවකයින්ගේ ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ ඔහු මෙලෙස සිය හඬ අවදි කර තිබුණි.
“මට ඔයාලා හැමෝට ම ස්තූතියි කියන්න ඕනේ! ඔයාලා හැමෝව ම මේ හැමදේකට ම පටලවපු එකට මම හුඟක් කනගාටු වෙනවා. මම හරිම බරපතළ වැරදි කිහිපයක් කළා. ඒ වගේම මම යළි නැඟී සිටීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. දෙවැනි අවස්ථාවේදී මම වඩාත් යහපත් ප්‍රධාන විධායක නිලධාරියෙකු බවට පත් වෙනවා”
ජෙන්සන් හුවාන්ග් මෙලෙස යළි Nvidia ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කෙරුණේ, ඔහුගේ ආන්දෝලනාත්මක ඉල්ලා අස්වීමෙන් දින 11කට පසුවයි.
ඔහුගේ යළි පත්වීමත් සමග NVIDIA සමාගමේ කොටස් මිල ගණන් 33%කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජෙන්සන් හුවාන්ග්, චීන ඔත්තුකාරියක යැයි සැක කාන්තාවක් අතර පැවති සබඳතාවක් පිළිබඳ වාර්තාවීමත් සමඟ Nvidia අධ්යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජෙන්සන් හුවාන්ග් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම අධ්යක්ෂ මණ්ඩලය ඒකමතිකව පිළිගෙන තිබුණි.
කෙසේවෙතත් අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ජෙන්සන් හුවාන්ග්ගෙන් ජාතික ආරක්ෂාවට කිසිදු අවදානමක් එල්ල නොවන බවට තමන් විශ්වාස කරන බවයි.
හුවාන්ග් සමග පැවැත්වූ සාකච්ඡා සහ හමුවීම් මාලාවකින් අනතුරුව ඔහුගේ විවෘතභාවය සහ සමාගම මෙහෙයවීමේ හැකියාව පිළිබඳ අධ්යක්ෂ මණ්ඩලය සෑහීමකට පත්ව තිබේ. ඒ අනුව ඔහුව යළි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ඇමරිකානු කොටස් වෙළඳපොළේ පහත වැටීම පිළිබඳව පැවති කනස්සල්ලය හමුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම කඩා වැටීම නැවැත්වීමට ඇති එකම මාර්ගය ජෙන්සන් හුවාන්ග් නැවත Nvidia හි ප්‍රධානියා ලෙස පත් කිරීම බවට තීරණය කර තිබේ.
ඒ අනුව, මෙම නිගමනයත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙහෙයවන ලද 'බලපෑම් කිරීමේ මෙහෙයුමක්' ද ආරම්භ කර තිබූ බව වාර්තා වේ.
සති අන්තයේදී සිදු කළ දුරකථන ඇමතුම් මාලාවක් ඔස්සේ, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ප්රමුඛ ඉහළ නිලධාරීන් හුවාන්ග්ව නැවත ගෙන්වා ගන්නා ලෙස Nvidia අධ්යක්ෂ මණ්ඩලයට පෞද්ගලිකව බලපෑම් කළ බවත් සඳහන්.
ඒ අනුව, හුවාන්ග් නැවත පත් කිරීමේ ධවල මන්දිරයේ උත්සාහය කොතරම් රහසිගත වී ද යත්, ඊයේ (23) උදෑසන සමාගම ඒ බව නිවේදනය කිරීමට සුළු මොහොතකට පෙර වන තෙක් ම සමාගමේ ඇතැම් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පවා ඒ පිළිබඳව දැන නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එලෙස සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස නැවත සේවයට පැමිණි පළමු දිනයේදී ම, ජෙන්සන් හුවාන්ග් සේවකයින්ගෙන් සමාව අයැදීමට සහ සිය කෘතඥතාව පළ කිරීමට ද අමතක නොකිරීම විශේෂය.
එහිදී ඔහු,
"අද මගේ රැකියාවේ පළමු දවස, මට පරිගණකයක් නැහැ. ඒ නිසා IT අංශයෙන් අලුත් එකක් ගන්න ඕනේ" මැයෙන් විහිළුවක් ද කර තිබුණි.
Nvidia හි ඉහළ නිලධාරීන් සහ සේවකයින් පෙළ ගැසී හුවාන්ග්ව නැවත පිළිගෙන තිබූ අතර, ඇතැමුන් ඔල්වරසන් දෙමින් "නැවත සාදරයෙන් පිළිගන්නවා" සහ "අපි ඔබට ආදරෙයි" යනුවෙන් ද හඬ නැඟූ බව වාර්තා වේ.
Nvidia ආරම්භ කර එයට නායකත්වය දුන් හුවාන්ග්, සමාගම තුළ බලගතු නායකයෙකු සහ පරමාදර්ශී චරිතයක් ලෙස කතාබහට ලක්වූවෙකි.
ඔහුගේ ඉල්ලා අස්වීමේ පුවත පැතිර ගිය අවස්ථාවේ ඇතැම් සේවකයින් කඳුළු සැලූ බවට ද වාර්තා පළ වූ අතර, හුවාන්ග්ව නැවත සේවයට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා පැවැත්වූ අන්තර්ජාල පෙත්සමකට සේවකයින් 10,000ක් පමණ සහභාගී වූ බව සඳහන්.
කෙසේ වෙතත්, සියලුම සේවකයින් හුවාන්ග්ගේ නැවත පැමිණීම පිළිගෙන නැති බව ද වාර්තා වේ.
විදෙස් වාර්තාවන්ට අනුව, "මෙය ඉතාම නරකම ප්රතිඵලයයි. ඔහුගේ ඉවත්වීමත් සමඟ අපි දැනටමත් වන්දිය ගෙවා අවසන්. දැන් අපට තවදුරටත් ඉතා නරක පුද්ගලයෙකු යටතේ වැඩ කිරීමට සිදුවී තිබෙනවා" යනුවෙන් ඇතැමෙක් අදහස් දක්වා තිබුණි.