
යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම වෙළෙඳ හා ආහාර ප්‍රවාහන මාර්ග තුනක කටයුතු අඩාල වීම නිසා ආහාර හා මානුෂීය ආධාර සැපයීමේ වියදම් ඉහළ ගොස් ඇති බව ලෝක ආහාර වැඩසටහන (WFP) පවසනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා මිලියන 7.3ක ජනතාවකට අත්‍යවශ්‍ය ආහාර ආධාර අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවට ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් එහි විධායක අධ්යක්ෂ ලූක් ලින්ඩ්බර්ග් සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය, බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය සහ කළු මුහුද ආශ්‍රිතව පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආහාර අපනයනය සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය යෙදවුම් සැපයුම දැඩි ලෙස සීමා වී ඇති බවයි.
මෙම තත්ත්වය ලොව පුරා පවතින යුද ගැටුම් සහ එල් නිනෝ වැනි දේශගුණික විපර්යාසයන් සමඟ එක්වීමෙන් ආහාර නිෂ්පාදනයට සහ මිල ගණන්වලට සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
මෙම තත්ත්වය 2027 වසරේ මැද භාගය දක්වා අඛණ්ඩව පැවතියහොත් ලෝක ආහාර වැඩසටහනට අමෙරිකානු ඩොලර් මිලියන 727ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි එම සංවිධානය පුරෝකථනය කර තිබෙනවා.
එම අතිරේක වියදම හේතුවෙන් මිලියන 7.3ක ජනතාවකට ලබාදෙන ආහාර ආධාර වැඩසටහන් අවදානමට ලක්විය හැකි බව ද එම සංවිධානය සඳහන් කරනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝක ආහාර වැඩසටහනේ මෙහෙයුම් සඳහා වෙන්කර ඇති මුදල් සම්පත් සෘජුවම අඩුවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අඩු පවුල් සංඛ්‍යාවකට පමණක් ආහාර සැපයීමට සිදුවන බවත් ලින්ඩ්බර්ග් ප්‍රකාශ කළා.
මේ වනවිට ලොව පුරා මිලියන 266ක පමණ ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දී සිටින අතර, සුඩානය, දකුණු සුඩානය සහ සෝමාලියාවේ ඇතැම් ප්‍රදේශවල සාගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.
ලොව පුරා භාවිත කෙරෙන පොහොර සැපයුමෙන් සියයට 30ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙනවා.
එමෙන්ම කළු මුහුද ලෝකයේ ප්‍රධාන ධාන්‍ය සැපයුම් මාර්ගයක් වන අතර, සෝමාලියාව සහ යේමනය වැනි රටවලට එම සැපයුම් විශේෂයෙන් වැදගත් වේ.
යේමනය සිය ආහාර අවශ්‍යතාවයෙන් සියයට 90ක් පමණ ආනයනය මත රඳා පවතී.
WFP වාර්තාවලට අනුව, පසුගිය ඔක්තෝබර් මැද භාගය වනවිට බොස්ෆරස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තිරිඟු සහ බඩඉරිඟු ප්‍රවාහන නෞකා සංඛ්‍යාව පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 63කින් පහත වැටී තිබෙනවා.
මේ හේතුවෙන් රුසියාවෙන් සහ යුක්රේනයෙන් අපනයනය කිරීමට නියමිත තිරිඟු ටොන් මිලියන 10ක් පමණ ලෝක වෙළෙඳපොළට ළඟා නොවීමේ අවදානමක් පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.
එම ධාන්‍ය ප්‍රමාණය මිලියන 44ක පමණ ජනතාවකට ආහාර සැපයීමට ප්‍රමාණවත් බව ඇස්තමේන්තු කර ඇත.
“මෙය ආහාර නිෂ්පාදනය පිළිබඳ ගැටලුවක් නොව දේශපාලනික ගැටලුවකි.
ධාන්‍ය තිබෙන නමුත් ඒවා අවශ්‍ය ජනතාව වෙත ළඟා වන්නේ නැත” යනුවෙන් ලින්ඩ්බර්ග් ප්‍රකාශ කළේය.
මේ අතර, සුඩානයේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැයවන මුදල පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා සියයට 130කින් ඉහළ ගොස් ඇති බව ද අනාවරණය වී ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මූලික ප්‍රතිඥා තුනක් අනුගමනය කළ යුතු බව ලින්ඩ්බර්ග් අවධාරණය කළා.
ඒ අනුව, තවදුරටත් සාගත ඇතිවීමට ඉඩ නොදීම, ආහාර දේශපාලනික හෝ යුදමය අවියක් ලෙස භාවිත කිරීම වැළැක්වීම සහ මානුෂීය ආධාර සේවකයන්ට එල්ල කරන ප්‍රහාර නතර කිරීම එම ප්‍රධාන ප්‍රතිඥා තුන වේ.