
බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) නැවත බංග්ලාදේශයට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, ඉන්දියාවේ වසර දෙකකට වැඩි කාලයක් පිටුවහල්ව සිටීමෙන් පසුවයි.
Reuters පුවත් සේවයට අනුව, හසීනා දෙසැම්බර් 16 වැනිදා සිය රටට පැමිණීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් 16, පාකිස්තානය සමඟ පැවති 1971 නිදහස් යුද්ධය අවසන් වීමේ සංවත්සරය යෙදෙන දිනය වීම විශේෂ ය.
කෙසේ වෙතත්, ඇයට නැවත පැමිණිය හැක්කේ පිටුවහල් කිරීමේ (extradition) ක්‍රියාවලිය හරහා පමණක් බව බංග්ලාදේශ රජය ප්‍රකාශ කර තිබේ.
79 හැවිරිදි හසීනා, සිය නැවත පැමිණීම සඳහා නිශ්චිත දිනයක් නියම කළ පළමු අවස්ථාව මෙයයි.
මේ මස මුලදී ඇය නව විදේශ ගමන් බලපත්‍රයක් සහ අත්‍යාවශ්‍ය ලියකියවිලි ඉල්ලා තිබුණි.
තමන්ට එරෙහිව ඇති වූ නැගිටීමෙන් පසුව දිල්ලියට පලා යාමෙන් පසු අවලංගු කරන ලද ලියකියවිලි ඉල්ලා සිටීමට අමතරව, ජාතික ගුවන් සේවය වන 'බිමාන් බංග්ලාදේශ් එයාර්ලයින්ස්' (Biman Bangladesh Airlines) ඔස්සේ සිය නැවත පැමිණීම සංවිධානය කරන ලෙස හසීනා බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
"2024 අගෝස්තු 5 වැනිදා ෂෙයික් හසීනා බංග්ලාදේශ ගුවන් යානයකින් ඉන්දියාවට රැගෙන ගිය බැවින්, දිල්ලියේ සිට නැවත ඩකා වෙත ඇයව ගුවනින් රැගෙන ඒමට කටයුතු සලසන ලෙස ඇය දැන් රජයෙන් ඉල්ලා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඇයව පිටුවහල් කර ඇති බැවින්, දෙසැම්බර් 16 වැනිදාට යෙදෙන ජයග්‍රහණයේ දිනයේදී ඇයට නැවත බංග්ලාදේශයට පැමිණීමට අවස්ථාව සලසා දීම දැන් රජයේ වගකීමකි." යනුවෙන්, ප්‍රකාශක සයිඩ් මොසම්මෙල් අලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද නැගිටීම මැඩපැවැත්වීම සඳහා මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමේ චෝදනාවට පසුගිය වසරේ බංග්ලාදේශ අධිකරණයකින් ඇයට මරණ දඬුවම නියම කර තිබේ.
කෙසේ නමුත් පිටුවහල්ව සිටින හසීනා එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
"හසීනා යනු වරදකාරියක්, අපරාධකාරියක්, පලා ගිය ත්‍රස්තවාදිනියක්" මැයෙන් බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කොබීර් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.
එමෙන්ම, ඇයට නැවත රටට පැමිණිය හැක්කේ පිටුවහල් කිරීමේ ගිවිසුමක් මගින්, මාංචු දමා, දැඩි ආරක්ෂාවක් යටතේ පමණක් බවත් පවසා තිබුණි.
ගුවන් යානයක් සූදානම් කරන ලෙස වන හසීනාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කොබීර් සඳහන් කර තිබුණේ, බංග්ලාදේශය එවැනි මායාකාරී ඉල්ලීම් කිසිවක් පිළිනොගන්නා බවයි.
මේ අතර බංග්ලාදේශ අමාත්‍යවරයෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබූ පරිදි, හසීනා නැවත පැමිණියහොත් ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කරනු ඇත.
එමෙන්ම ඇයව ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් යැවීම පිළිබඳව ඉන්දියාව සමඟ කිසිදු නිල සාකච්ඡාවක් ද පවත්වා නැත.
ඇයට බලය අහිමි වීමට හේතු වූ නොසන්සුන්තාවය අතරතුර පුද්ගලයින් 1,400ක් පමණ මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.