
ඉරානයේ අනිවාර්ය 'හිජාබ් නීති' උල්ලංඝනය කරමින්, අන්තර්ජාලය ඔස්සේ ගීත ගායනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ගායිකා 'පරස්තූ අහමදි' (Parastoo Ahmadi) සහ ඇගේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකුට කස පහර 74 බැගින් දඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
'කොම්' (Qom) නගරයේ නීතිපති කාර්යාලයේ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ ඒකකයේදී අහමදි, ප්‍රසංග සංවිධායක මොහ්සෙන් ලෂ්කාරි සහ සංගීතඥයන් වන සොහෙයිල් ෆගිහ්-නසිරි, අමින් තහේරි සහ අමීර්-අලි පිර්නියා යන අයට එරෙහිව මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
මෙම නඩුව 2024 දෙසැම්බර් මාසයේදී අහමදි අන්තර්ජාලයේ පළ කළ වීඩියෝවකට අදාළ වේ. එහි ඇය 'හිජාබය' පැළඳීමෙන් තොරව පිරිමි සංගීතඥයන් සමඟ ඓතිහාසික ගොඩනැගිල්ලක ගීත ගායනා කරන අයුරු දැක්විණි.
ඊට, 'අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය සහ සදාචාර විරෝධී අන්තර්ගතයන් නිෂ්පාදනය කර ප්‍රකාශයට පත් කිරීමෙන් මහජන විනීතභාවයට හානි කිරීම' මැයෙන් ඉරාන බලධාරීන් විසින් හඳුන්වනු ලබන චෝදනාවට මෙම ගායිකාව සහ ඇගේ කණ්ඩායම වරදකරුවන් කෙරිණ.
ඒ අනුව කස පහර දීමට අමතරව, අහමදි සහ අනෙක් සිව්දෙනාට වසර දෙකක කාලයක් සඳහා විදේශගත වීම සහ වෘත්තීය කලා කටයුතුවලට සහභාගී වීම ද තහනම් කර ඇති බව වාර්තා වේ.
| දඬුවමට හේතු වූ ගායනය
මෙම නඩුව කේන්ද්‍රගත වී ඇත්තේ 2024 දෙසැම්බර් මාසයේදී අහමදි අන්තර්ජාලයේ පළ කළ 'Caravanserai Concert' නම් වීඩියෝව වටාය.
('කැරවන්සෙරායි' යන පර්සියානු යෙදුමෙන් අදහස් වන්නේ සංචාරකයින් සහ වෙළඳුන් විසින් භාවිතා කරන ලද පැරණි බලකොටු සහිත නවාතැන්පොළවල් ය.)
ඉරානයේ කොම් නගරයට ආසන්නයේ පිහිටි ඓතිහාසික ඩීර්-ඊ ගචින් (Deir-e Gachin) කැරවන්සෙරායි හිදී පිරිමි සංගීතඥයන්ගේ සහාය ඇතිව ගායිකාව තනිව ගීත ගායනා කරන අයුරු අදාළ වීඩියෝවේ දැක්විණි.
කොම් නගරය, ඉස්ලාමීය දේවධර්ම විද්‍යාල රැසක් පිහිටි ෂියා ශුද්ධ නගරයක් මෙන්ම ආගමික ගතානුගතිකත්වයේ බලකොටුවක් ලෙස ද සැලකෙන නගරයකි.
ඉරානයේ අනිවාර්ය හිජාබ් නීති උල්ලංඝනය කරමින්, අහමදි එහි හිස් වැසුමක් නොමැතිව පෙනී සිටියි. එලෙස ඉරානයේ අනිවාර්ය හිජාබ් නීතිවලට අභියෝග කරන ඇය දිගු කළු පැහැති අත් රහිත ගවුමක් ද හැඳ සිටියි.
මෙම ගායනය ප්‍රේක්ෂකාගාරයක් නොමැතිව පටිගත කරන ලද නමුත් අන්තර්ජාලයේ බෙදා හැරීමෙන් පසු ඉක්මනින්ම අවධානය දිනාගෙන තිබුණි.
වීඩියෝව සමඟ නිකුත් කළ ප්‍රකාශයක, තමා ගායනය තෝරා ගත්තේ මන්දැයි යන්නත් ඇය පහදා තිබුණි.
"මම, ආදරය කරන මිනිසුන් වෙනුවෙන් ගීත ගායනා කිරීමට කැමති ගැහැණු ළමයෙක්. මම දැඩි ලෙස ආදරය කරන දේශය වෙනුවෙන් ගීත ගායනා කිරීම මට නොසලකා හැරිය නොහැකි අයිතියක්" යනුවෙන් එහි දැක්වේ.
කෙසේ නමුත් අනතුරුව ඉරාන බලධාරීන් විසින් ගායිකාවට සහ ඇගේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලදී.
සිය නිර්මාණ හෝ ප්‍රසිද්ධ ප්‍රකාශන හේතුවෙන් ශාරීරික දඬුවම්වලට මුහුණ දුන් පළමු ඉරාන කලාකාරිනිය හෝ ප්‍රසිද්ධ පුද්ගලයා අහමදි නොවේ.
අනිවාර්ය හිජාබ් නීතිවලට විරුද්ධ වූ කාන්තාවන්ට සහය පළ කරමින් 'රූසාරිටෝ' (Roosarito) නම් විරෝධතා ගීතය නිකුත් කිරීමෙන් පසු සංගීතඥ මෙහ්දි යරාහි (Mehdi Yarrahi) හට කස පහර 74ක දඬුවමක් නියම විය.
2025 පෙබරවාරි මාසයේදී ටෙහෙරානයේදී සාම්ප්‍රදායික ඉරාන සංගීතය ඉදිරිපත් කිරීමෙන් පසු "දූෂණය සහ ගණිකා වෘත්තිය දිරිමත් කිරීම" යන චෝදනාව මත ගායිකා හිවා සෙයිෆිසාදේට (Hiva Seyfizadeh) පහළ අධිකරණයක් විසින් වසර හතරක සිර දඬුවමක් නියම කරන ලදී.
ඒ සම්බන්ධයෙන් සෙයිෆිසාදේ පවසා තිබුණේ, තමා ගායනා කළේ 13 වැනි සියවසේ ප්‍රකට පර්සියානු කවියෙකු වූ සාදි ෂිරාසිගේ (Saadi Shirazi) කවි පද කිහිපයක් පමණක් බවත්, එම ගායනය දූෂණය හෝ ගණිකා වෘත්තිය දිරිමත් කිරීමක් වන්නේ කෙසේදැයි යනුවෙනි.
හිස් වැසුමක් නොමැතිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ වරදට වරදකාරිය වීමෙන් පසු මානව හිමිකම් ක්‍රියාකාරිනී රෝයා හෙෂ්මති (Roya Heshmati) හට ද කස පහර 74ක දඬුවමක් හිමි විය.
බලධාරීන් විවේචනය කරමින් සහ 'කාන්තාව, ජීවිතය, නිදහස' (Woman, Life, Freedom) ව්‍යාපාරයට සහය පළ කරමින් ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් විරුද්ධවාදී රැප් ගායක තූමාජ් සලේහි (Toomaj Salehi) සිරදඬුවම් සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී තිබේ.
2022 සැප්තැම්බර් මාසයේදී, 22 හැවිරිදි මහ්සා අමිනීගේ (Mahsa Amini) මරණයෙන් පසු ඉරානයේ අනිවාර්ය හිජාබ් නීති ක්‍රියාත්මක කිරීම වඩාත් නොසන්සුන්තාවකට හේතු වී තිබේ.
ඇඳුම් පැළඳුම් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එරට සදාචාර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අමිනී මිය ගියාය.
ඇගේ මරණය 'කාන්තාව, ජීවිතය, නිදහස' යන සටන් පාඨය යටතේ රටපුරා විරෝධතාවලට හේතු විය. විරෝධතාකරුවන් කාන්තා අයිතිවාසිකම් සඳහා එරට පවතින සීමාවන්ට අභියෝග කළ අතර වැඩි පෞද්ගලික නිදහසක් ඉල්ලා සිටියහ.
එතැන් සිට, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවදානම නොතකා බොහෝ ඉරාන කාන්තාවන් හිස් වැසුම් නොමැතිව ප්‍රසිද්ධියේ පෙනී සිටීම දිගටම කරගෙන ගොස් ඇත.
මෙම නීති ප්‍රශ්න කිරීම සඳහා සිය වේදිකාවන් භාවිතා කළ කලාකරුවන් සහ ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් සහ වෙනත් දඬුවම්වලට මුහුණ දී තිබේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය කස පහර දීම කෲර, අමානුෂික සහ අවමන් සහගත දඬුවමක් ලෙස හඳුන්වා දී ඇත.
අනිවාර්ය හිස් වැසුම් පැළඳීමට අභියෝග කරන ගායිකාවන්, මාධ්‍යවේදීන් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව ඉරාන බලධාරීන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, නඩු පැවරීම සහ කස පහර දීම වැඩි වැඩියෙන් භාවිතා කරන බවට එම මානව හිමිකම් සංවිධානය පසුගිය වසරේ වාර්තාවකින් චෝදනා කර තිබුණි.