
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, වසර දෙකකට අධික කාලයකට පසු ලබන දෙසැම්බර් 16 වැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි.
බංග්ලාදේශයේ ඇතිවු අරගලයෙදි බලයෙන් පහකෙරුණු ෂෙයික් හසීනා 2024 අගෝස්තු මාසයේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර රැඳී සිටි.
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා යළි ඩකා අගනුවරට ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් සපයන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ඇයගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
ආවාමි ලීග් පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කර තිබියදීත් එම පක්ෂයේ ආධාරකරුවන් රට පුරා විරෝධතා සංවිධානය කරමින් සිටින පසුබිමක හසීනාගේ මෙම පියවර විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ඇය නැවත බංග්ලාදේශයට පැමිණෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තවමත් පැහැදිලි නොමැත.
මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත පසුගිය වසරේදී බංග්ලාදේශ අධිකරණයක් ඇය නොමැතිව නඩු විභාග කර මරණ දඬුවම නියම කළ අතර එම චෝදනා ඇය ප්‍රතික්ෂේප කළාය.
මේ අතර, හසීනාට තමන්ගේ කැමැත්ත පරිදි බංග්ලාදේශයට පැමිණීමට ඉඩ නොදෙන බව එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් ප්‍රකාශ කර තිබේ.
“ෂෙයික් හසීනාට සාමාන්‍ය වාණිජ ගුවන් මගියෙකු ලෙස රටට පැමිණීමට හැකි වන්නේ නැහැ. ඇය මෙරටට ගෙන එනු ලබන්නේ මාංචු දමාගෙනයි” යනුවෙන් ඔහු අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.
එමෙන්ම, බංග්ලාදේශයේ මෑතකාලීන නොසන්සුන්කාරී තත්ත්වයන්ට හසීනා සහ ඉන්දියාව සම්බන්ධ බවට චෝදනා කළ ඔහු, ඔවුන් රට තුළ “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට” සහාය දක්වන බවට ද චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේදී එම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ හසීනා බංග්ලාදේශයට පිටුවහල් කිරීම සඳහා එරට රජය ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බලමින් සිටින බවයි.
2024 අගෝස්තු 5 වැනිදා විරෝධතාකරුවන් දස දහස් ගණනක් ඩකා අගනුවරට පැමිණ ඇයගේ නිල නිවසට කඩා වැදීමත් සමඟ ෂෙයික් හසීනාට රටින් පලා ගොස් ඉන්දියාවේ රැකවරණය ලබා ගැනීමට සිදුවිය.
රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ලබාදෙන කෝටා ක්‍රමයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා, ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ මාරාන්තික ප්‍රහාර හේතුවෙන් රජයට එරෙහි දැවැන්ත ජනතා නැගිටීමක් බවට පත්විය.
එම නොසන්සුන්කාරී තත්ත්වයන් අතරතුර පුද්ගලයන් 1,400ක් පමණ මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.
හසීනාගේ ප්‍රකාශක සයිඩ් මොසම්මෙල් අලි අඟහරුවාදා නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඇයව බලහත්කාරයෙන් රටින් පිටුවහල් කර ඇති බවයි.
“2024 අගෝස්තු 5 වැනිදා බංග්ලාදේශ ගුවන් යානයකින් ෂෙයික් හසීනා ඉන්දියාවට රැගෙන ගිය බැවින්, දැන් ඇය නවදිල්ලියේ සිට ඩකා නුවරට යළි පැමිණීම සඳහා ගුවන් ප්‍රවාහන පහසුකම් සලසන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
හසීනා යළි පැමිණීමට තෝරාගෙන ඇති දෙසැම්බර් 16 වැනි දිනය ද විශේෂ දේශපාලනික හා ඓතිහාසික වැදගත්කමකින් යුක්තය.
එදින බංග්ලාදේශය සිය නිදහස් සටනේ ජයග්‍රහණය සනිටුහන් කරමින් ජාතික ජයග්‍රාහී දිනය සමරයි.
1971 වසරේ පාකිස්තානයෙන් නිදහස ලබාගැනීමේ සටනේදී හසීනාගේ පියා වූ ෂෙයික් මුජිබර් රහ්මාන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.
හසීනාගේ සහායක අබු ඔබයිදා අරින්, ඇයගේ තීරණය “ගැඹුරු සංකේතාත්මක වැදගත්කමක් ඇති තීරණයක්” ලෙස විස්තර කර තිබේ.
එදින ඇය යළි සිය ජනතාව අතර ජාතික ජයග්‍රාහී දිනය සැමරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම හසීනා යළිත් බංග්ලාදේශයේ නායකත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පවසා තිබේ.
හසීනාගේ මෙම ප්‍රකාශය සහ ඊට බංග්ලාදේශ රජය දැක්වූ දැඩි ප්‍රතිචාරය වාර්තා වන්නේ, පිටුවහල්ව සිටියද ඇය යළි දේශපාලන බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමකය.
මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය පසුගිය වසරේ මැයි මාසයේදී ආවාමි ලීග් පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කළේය.
පසුව පැවති පෙබරවාරි මහ මැතිවරණයට ද එම පක්ෂයට තරග කිරීමට අවසර හිමි නොවීය.
එම මැතිවරණයෙන් හසීනාගේ දේශපාලන ප්‍රතිවාදී පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ජයග්‍රහණය කළ අතර, එහි නායක තාරික් රහ්මාන් අගමැති ධුරයට පත්විය.
කෙසේ වෙතත්, ආවාමි ලීග් පක්ෂයට පනවා ඇති තහනම හමුවේ වුවද එහි ආධාරකරුවන් වීදි බැස විරෝධතා පැවැත්වීම නතර කර නැත.
හසීනා යළි රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් රටපුරා වැඩවර්ජන සහ ව්‍යාපාර ද සංවිධානය කර තිබේ.
හසීනා ද යළි බංග්ලාදේශයට පැමිණීමේ සිය අභිලාෂය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත.
එහිදී තමන්ට අත්අඩංගුවට ගැනීමට හෝ ජීවිත හානියක් සිදුවීමට පවා ඉඩ ඇති බව ඇය පිළිගෙන තිබේ.
“ඔවුන් මාව සිරගත කරන්න පුළුවන්. මාව මරා දමන්නත් පුළුවන්. ඕනෑම දෙයක් සිදුවිය හැකියි.
ඒ සියල්ල දැන සිටියත් මම නැවත මගේ රටට යා යුතුයි” යනුවෙන් ඇය පසුගිය අගෝස්තු මාසයේදී නවදිල්ලියේ පැවති මාධ්‍යවේදීන්ගේ හමුවකට ශ්‍රව්‍ය සම්බන්ධතාවක් ඔස්සේ එක්වෙමින් ප්‍රකාශ කර තිබුණි.
හසීනා ඉන්දියාවේ සිට සිදුකරන දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා යළි යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් ද අභියෝගයට ලක්ව තිබේ.